Wednesday, November 5, 2014

හන්තානට පායන හඳ ලස්සන නැත......!


පද පේළි 6ක් තුළ ඉතා සියුම්ව ඇමිණු වචනාවලියකින් මේතරම් ආලයක්, ස්නේහයක්, විශ්වාසයක්, ලබැඳියාවක් සම්පේ‍්‍රශනය කළ හැකි දැයි මම දැන නොසිටියෙමි. හදවතෙහි අංශු මාත‍්‍රීය කේශනාලිකා පවා සසල කර සංවේදී කරවන්නට තරම් ඔබ පිදූ ස්නේහවන්තකම පොහොසත්වී තිබුණි. එවන් වසන්තයකට ජීවිත වසන්තයද අංගසම වූ කල්හි ඔබ නැවතත් ගිම්හානයට ඇරයුම් කරනුයේ කෙසේ දැයි මා හට අවබෝධ කරගැනීමට අපහසුය. හන්තානට පායන, එහෙත් මා ගතට සිසිලස නොගෙනෙන, ඔබද නොදකින ඒ පියකරු පුරහඳ දෙස බලා මම මේ පිළිතුරු කථනය කරමි. ඔබ මෙන් සුන්දරව එළිසම ගැළපීමට හැකියාවක් නොමැති හෙයින් වැටහෙනා අයුරින් පරිච්ෙඡ්ද තුළට මාගේ ආදරය මෙසේ ගළපමි.


අප හදවත්හි සදා අමරණීය වූ අතීත මතකයන්ගේ විචිත‍්‍රත්වය අමුතුවෙන් මා විග‍්‍රහ කළ යුතු නැත. උපකාරක පංතියේ කළ කී දෑ, මංපෙත් පුරා ආ ගිය මතකයන් මතක මන්දිර තුළ සදාතනිකය. පුංචි පුංචි හීන ලොකුම ලොකු බලාපොරොත්තු බවට පත්කර , එකම හීනයක්, එකම බලාපොරොත්තුවක් හදවත තුළ අධිෂ්ඨානගත වන්නට අපි පාරමී පිරුවෙමු. ඒ අරමුණ මොහොතකට අභියෝගයකට ලක් වූයේ උසස් පෙළ ප‍්‍රතිඵල මා හට පේරාදෙණියේ ඉඩහසර විවර කරන විටය. සරසවි සිහිනයේ උත්කෘෂ්ඨයේ සදාදරණීය ප‍්‍රතිමූර්තිය පේරාදෙණියණි ඔබට වරම් නැති, මට වරම් ඇති සරසවිය වාසනාවක් හෝ අවාසනාවක් දැයි වටහා ගැනීමට මට නොවැටහුණි. සිතේ කිසියම් සොම්නසක් ජනිත වුවද, ඔබ නොමැති දොම්නස මහා මේඝයක් වී එකී සොම්නස ක්‍ෂණයකින් මකා දමයි.



තාරකාවල දිදුලන දීප්තියට වඩා පුරහඳෙහි ආලෝකය රාත‍්‍රියට ආශිර්වාදයකි. ඔබ නොදකින පුරහඳ මෙහි ඇති පේ‍්‍රමණීය සිත් සිසිලයෙන් පේ‍්‍රමාන්විත කළද, මා හට එහි පියකරු අලංකාරත්වයක් නොමැත. මේ රාත‍්‍රියේ ලොව යම් තැනක් හිරු කිරණින් ආලෝකමත් වී ඇති බව නිසැකය. මාගේ ලෝකයේ හිරුද එසේය. හඳ උයන් තෙරේ සියොතුන්ට රාව නඟන්නට පැතුම් මල් විකසිතව දසත සුවඳවත් කරන්නට ජීවය පොවන හිරුකිරණ ඔබය. ආත්මීය බැඳීමක පුරෝකථනයෙන් ජීවිතයක් අරුත්බර කළ හද බිම්තෙරේ සිසිලස ඔබය. එහෙයින් හන්තානට පායන සඳ මා හට ලස්සන නැත. මගේ ලොවෙහි පෑයූ හිරු ඒ සඳට වඩා මට රැකවරණය සලසනු ඇත.



වැස්ස කවදත් අපට හුරු පුරුදුය. මංමාවත් පුරා කාලය කා දමමින්, පෙම්බස් තෙපලමින් කුඩය යටින් ගිය මතකයන්, පාළුව නම් වූ කර්කශ මරුකතරට දිය පොදක් සේය. කඳු මුදුන්හි සිට පැමිණ එක් ක්‍ෂණයකින් සරසවි බිම ආක‍්‍රමණය කරන මිහිදුම් කුමරිය, හිරිකඩ වැස්සේ සුන්දරත්වය තවත් ඔප්නංවයි. හන්තානයේ සිසිලස රැුගෙන හමන සුළං රොද හා කරට කර පොර බඳිමින් ගත දැවටෙන දිය තුහින, පේ‍්‍රමකතාවකට මුල පුරන්නට කරන ආරාධනයක් වැනිය. සොබාදහමේ අපූර්වත්වය ඒකාධිපතියෙක් සේ තම අණසක පැතුරූ සරසවි බිම තුළ, එකී අපූර්වත්වයෙන් ජීවිත සිත්තම පින්තාරු කරගත් ආදරවන්තයන් එමටය. එහෙත් එම සුන්දරත්වය, මා සිත ඔබේ ග‍්‍රහණයෙන් මුදා ගැනීමට තරම් සවිමත් නැත. ගිරි දුර්ගයන්ගෙන් ගහණ කටුක වූ ජීවිත මඟක්, රෝස මල් ඇතිරූ පාරාදීසයක් බවට පත්කළ සොඳුරු පේ‍්‍රමවන්තයා ඔබය. ඒ සොඳුරු පෙම්වතා හැර වෙනත් කිසිවෙක්ට මගේ කුඩය යට අවසර නැත.


ලතා මඬුලූ නෙක අණසක පැතිරූ සරසවි භූමිය, සිහින හා බලාපොරොත්තුවල අත්තිවාරම් තනන ආදරවන්තයන්ට කදිම තෝතැන්නකි. එම ආදරවන්තයන්ට ලොවෙන් වසන්ව ආලයේ උණුසුම විඳිගන්නට සරිලන සේ ඇතැම් ලතා මඬුලූ ස්වභාවයෙන්ම සැකසී ඇත. පිට ඔපයෙන් මාගේ තනිකම මිනුම්ගත කළ ලතා මඬුලූ පෙළ පිරිමි කයක් හා පෙමින් වෙලෙන්නට ස්වකීය සෙවණට මට ආරාධනා කරති. එහෙත් මෙතුවක් කලක් ඔබ සෙවණේ ආදරයේ උණුසුම විඳි මම, එම ආරාධනයන් අංශුමාත‍්‍රයකුදු මායිම් නොකරන බව කිව යුත්තෙමි. සැතපුම් ගනනක් දුරින් ඔබ සිටිය ද, අප මතකයන්ගේ සුන්දරත්වය සැමදා මාගේ තනිකම නසා ලනු ඇත.


ඔබ විසින් නිර්මිත මෙම අතිශය විචිත‍්‍රවත් වූ සෞන්දර්යාත්මක චිත‍්‍රණය ඔබගේ ආදරය විසින්ම පරිකල්පනීය අභියෝගයකට ලක්කර ඇත්තේ අවසානයේදීය. විරල වූත්, එහෙත් සුන්දර වූත් දෘෂ්ඨි කෝණයකින් ආදරය අර්ථ විග‍්‍රහ කළ ඔබ මෙතරම් අන්තගාමී ඉල්ලීමක් කරනුයේ කෙසේදැයි මම නොදනිමි. මෙතුවක් කලක් පුරාවට ඔබ තිළිණ කළ මතකයන් භෞතික වස්තුවක් සේ ගුළිකර මහවැලියට විසි කිරීම, මා හට සිහිනයකින් වත් නොසිතිය හැකි සිහිනයක් බඳුය. ගෙන්දගම් පොළොවේ පය ගසා කිසි ලෙසකින් හෝ සිදුකළ නොහැකි එය, සිහිනයකින් හෝ සිදුකලහොත්, එකී මහවැලියම මහා ජලකඳක්ව නැගී සිට මා  සුණු විසුණු කර දමනු ඇත. හදවතේ ගැඹුරුම තැනෙහි ගුළිකර තැන්පත් කළ මතකයක් ඉන් පිටතට ගැනීම අතිශයින් අසීරුය. මා ජීවිතයට සුසුම් පොද එක්කරණුයේ එම මතකයන්ය.


එම අන්තගාමී ආයාචනය තුළ නැවත නැවතත් මා විනිවිද දකිනුයේ ඔබ තිළිණ කළ ආදරයේ නිර්මලත්වයයි. අවංකත්වයයි. තමා සතු සියල්ල ආදරය වෙනුවෙන් කැපකර ආපසු යමක් බලාපොරොත්තු නොවන බෝධිසත්ව ගුණයෙන් ඔබ පරිපූර්ණ බව මම අවබෝධ කරගත්තෙමි. එම බෝධිසත්ව ගුණාංගයම ආදරයේ නාමයෙන් අතික‍්‍රමණය කළ ඔබ, මාගේ සතුට වෙනුවෙන් අසීමිත දෝමනස්සයක් කර මත පටවා ගැනීමට දරණ සම්මා වායාමයට මම එකඟ නොවන බව ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. හන්තාන පුරහඳ, හිරිකඩ වැස්ස, ලතා මඬුලූ පෙළ, මහවැලියේ කෝමළත්වයට වඩා, පේ‍්‍රමයේ සංහිඳ මත පූජනීය කල ඔබ ආදරය මා ජීවිතය ප‍්‍රභාවත් කර ඇත. මතු යම් දිනෙක ඔබ දෑතේ වෙළී පියමනින්නට, ඈත සඳ දෙස බලා පැතුමක් පතන්නට මම වාසනාවන්ත බව මම දනිමි. එම දිනය උදාවන තුරු උපේක්‍ෂා සහගතව මම බලා සිටිමි. එතෙක් හන්තානට පායන හඳ, මා හට ලස්සන නැත.

මීට,
සොබාදහම් විපර්යාස හමුවේ වෙනස් නොවන,
ඔබගේම ආදරය.