Wednesday, November 8, 2017

ආත්මය දැවෙන රාත්‍රිය

පෙනහළු දවාලන සිසිලසක් ඒ රාත්‍රියට අවැසි බව මම දැන සිටියෙමි. කබානාවේ
පසෙකට වී තෙල් කොළයක් තුළ එකී සාරය කැටි කරන මොහොතේ මා නුඹේ පා ගැටෙන හඩ වින්දනය කළෙමි. තත්පරය ඉතා කුඩා අංශු වලට ඛණ්ඩනය කර කල, එක් අංශුමාත්‍රික කාල මාත්‍රයක් ගතවනු දැනුනේ යම් සේද, නුඹ දෙපා මා අබිමුවට පැමිණෙන තෙක් කාලය ඒ තරම් දිගු යැයි මට දැනෙන්නට විය. වම් උරහිස් කෙළවරෙහි සිට දකුණු උරහිස් කෙළවර දක්වා සීරුවට සක්මන් කල දබරැගිලි තුඩ කේශනාළිකා කෝටි ප්‍රකෝටි ගණනක් කම්පනය කරන්නට වූයේ සර්වාංගයම සලිත කරමින්ය.

මම තවමත් නිසොල්මන්ය. නමුත් අතැගිලි පෙරටත් වඩා චංචලය.

දුඹුරු පාටින් ඔප වූ ඉණට වියතක් පහළ සිට නිරුවත් වූ පාදය මා ගත හරහා වැටෙන අයුරු මතක ය. මා ඇහි පිහාටු යුවල ඇය දෙතොල් මත ගෑවෙන තරමටම අප සමීප ය. මම දෑස් වසා ගත්තෙමි.

දෑස් ඉදිරියෙන් ජනිත වූ බාධකය තුළ මිශ්‍රණය අත දරා සිටින්නට මට නොහැකි වි අතින් ගිලිහුණි.පාලනය ඇයගේ ඒකාධිකාරයට නතුවී හමාරය.

ඇය, ශරීරස්කන්ධයන් එකිනෙක සම්පාත කරමින් ඇටමිඳුළු රිදුම්කන ප්‍රේමයක් දෙතොලතින් දෙතොලතට මුහු කරන්නට විය. මා නිරුවත් උඩු කය පුරා ඒ සියුම් සුසිනිඳු දෑත් විහිද වූ සංයමයම මා අතිශයින් නොඉවසිලිමත් කරන්නට විය.  විශ්වයම මොහොතකට අමතක කර විශ්වයේ ඇයත් මමත් තනිකර අප්‍රමාණික උන්මාදයක කොටස්කරුවන් වීමට මේ කදිම හෝරාව බවට සිත ඉඟි කරන්නට වන්හ.

නමුදු, මම එම ප්‍රේමාන්තික හීනයේ දැවෙන්නට සූදානම් නැත. මා ඇය බද වටා දෑත යවා කාර්යය නිම කරන්නට විය.

මේසය අත පත ගා ලයිටරය අත දැවටුන සැණෙක තොල්පෙති ඇයගේ ග්‍රහණයෙන් මුදාගත් මම, මේ වන තෙක් අසීමිත ඉවසීමකින් පිළියෙළ කරගත් කංසා කූර දෙතොලතර සිර කර දැල්වූයෙමි.  පළමු මාත්‍රාව සුසුම් වලට මුසු කර ප්‍රේමණීය උන්මාදය තවත් අමන්දානන්දයට පත්කළෙමි. දෙවන මාත්‍රාව දුම් වලාවක කැටි කර වාතලයට මුසු කළෙමි. දුම් රොඩු අතරින් රාගයෙන් ඇවිළෙන ඇය නෙත් සඟළ, මම සිතින් වන්දනා කළෙමි.

ඇය අතට පත්වූ කංසා කූරෙන් සංතෘප්තව reverse දුම් ප්‍රවාහයකින් මා දැහැන් ගත කළේ මේ සුසංයෝගය තෘප්තීන් ඉහළම තල වලට ගෙනයමිනි. කංසාවේ අප්‍රමාණික පහසත් ඇය සුසුම් වල තැවරූ ප්‍රේමාතුර රස්නයත් උගුරෙන් පහළට විත් සුසුම් වැල් ප්‍රකම්පනය කරමින් ගත පුරා සිසාරා ගියේ එලෙසින්ය.

ඉහළට එසවූ දෑත් වලින් අවකාශයට නතුවූ ටීෂර්ටය කොහේ පතිත වූවාදැයි නිශ්චිත නැත. මා මුවග, ඇය ගෙල මතින් ආරම්භ ව සුමට වූ දුඹුරු වත ඔස්සේ පහළට සීරුවෙන් රූටන්නට විය.

ටිකිලා බෝතලයේ මූඩිය ඇය කටින් කඩන්නට ඇතැයි මා විශ්වාස කරමි. ඒ අප ගිලී හුන් නොඉවසිල්ලේ ධාරිතාවය යැයි මට අනුමාන කළ හැක. ඉතා කුඩා වීදුරු බදුනක් තුළ පිට අත්ල මත පතිත කළ ලුණු කුඩු ස්වල්පයක් සහ  දෙහි යුෂ බිදක් සමගින් දවාලිය යුතු ටිකිලා උත්ප්‍රේරකය ඇය වත දිගේ අනවරතව මා මුව සොයා පැමිණෙන්නට විය. ඒ, ඇය ටිකිලාව සිරුර මත හළා ගත් බැවිනි.

මා නැවත ඉපදුණෙමි. කංසාවෙන් කුල්මත් ව ටිකිලාවෙන් පදම් වී ඊට නොදෙවෙනි නුරාගික ආශ්චර්යෙන් මත්වූ ආත්මය, දුඹුරු වත පුරා පැතිරුණු සව්දියට අතිශයින් කෑදර  විය. උස් තැන් පහත් තැන් සිසාරා එක සේ ටිකිලාවෙන් තෙත් වු ස්ත්‍රී වත මත, දත් පහරින් සිහිවටන තබන්නට ද අමතක නොකළෙමි.

මම, ඇය ගත මතින් ටිකිලාව වින්දෙමි.

ඇය මා මුවග පහසින් ජීවිතය වින්දාය.



එකෙණෙහිම අප සිටියේ ඒ කුඩා කබානාවේ හරි මැදින් වූ යහන මතය. දසතින් හමා ආ සැඩ සුළං රැළි කවුළු පියන් පත් ලතාවකට උළුවහු මත ගැටෙමින් හඬ නඟන්නට විය. ජනෙල් තිරරෙදි අකීකරුව උස් පහත් වෙමින් දෙපසට වැනෙමින් චලනය වූයේ මනා ලෙස අභ්‍යාස කර ශිල්ප දක්වන බැලේ නර්තන ශිල්පිනියක විලාසයෙනි. ධාරණිපාත වැසි වලින් ගස් අතු ගැලවී වැටෙනුයේ මහා හඬ නංවමිනි. සුළං කෝඩ එම බිත්ති හතර වටා වෙළෙමින් තව තවත් රෞද්‍රව කිසිසේත්ම පාලනය නොවන වේශයෙන් ඉදිරියට ඇදෙන්නට විය. වාතලය දෙදදරුම් කන සේ හඬ තලන්නට එම සුළඟට නිදහස තිබුණි. වෙහෙසක් නුදුටු මහා ජල කඳ පෙරටත් වඩා උද්යෝගයෙන් පොළොව සිපගන්නට විය. තුරු මුදුන් සුළඟට අවනතව අනේකවිධ ඉරියව් පාමින්  නොයෙක් අතට වැනෙමින් රැගුම් පාන්නට විය.

ඒ මොහොත කෙතරම් වේලා පැවතුණිදැයි අප හට අවබෝධයක් නැත.

තවත් රාත්‍රියක් එසේ ආනන්දනීයව ගෙවී ගියේය.

ඒ, විඳවනා බොහෝ දේ අතර අප සොයන විඳිල්ල ය. ආත්මයන් අතර හුවමාරු වන හැඟීම් විදුලි සැරය ය. ගත දෝවනය කරන පිරිමැදීම්වල උත්කර්ෂය ය.
හෙට නැතත් අනිද්දා නැතත් තවත් යම් දිනෙක මෙවන් සුන්දර රාත්‍රීන් උදා වනු ඇත. එදිනට අපි මීටත් වඩා නැවුම්ය. වෙනස්ය. ආත්ම වලට අයිතියක් නැති අපි ආත්මය විඳින රැයක  හිමිකරුවන් වූයෙමු.

සම්මතය පොළොවේ ගසා කෑලි කර, ජීවිතය විඳින රාත්‍රිය මෙය විය.

Wednesday, September 20, 2017

උත්කර්ෂවත් විය යුත්තේ සමුගැනීම් නොව මතකයන් පමණි


එය අසිරිමත් වූ සමුගැනීමක බොදවුන බලාපොරොත්තුවක් ගැන සිතුවිලි කම්පනය මොහොතකි. ලොවක් වේගයෙන් මුසපත් කල ඒ සිනාසෙන කගවේනා ලන්ඩන් ධාවන තීරුව මත ඇද වැටී කදුලු සලන මොහොතකි. බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන්ගේ සැණකෙළි පසෙක ලා ලොවක් මවිත කල විරුවෙක්ගේ වේදනාබර ඇදවැටීම දෙස ලොවම දෙනෙත් අයා, මුව අයා බලා සිටි මොහොතකි. වෙනදා අවසාන මීටර් 20 තුළදීම ජයග්‍රහණය සමරමින් ප්‍රතිවාදී ක්‍රීඩකයන් සමග සිනහවෙමින් ප්‍රේක්ෂකාගාරයට ආචාර කරමින් ලෝක වාර්තා සමඟ නිමකල පුරාවෘත්තය රෝද පුටුවක් මත නැගී පිටියෙන් ඉවත්ව වන්නට වූ මොහොතකි. 

 ඒ කතාව දැනට එලෙසය. මේ 2015 මාර්තු මාසයේ දිනයකි.ලෝක ක්‍රිකට් වංශ කතාවේ සුපිරි විරුවා වූ දොන් බ්‍රැඩ්මන්ගේ  වාර්තා අභිබවා වාර්තා තැබීමට වරම් තිබුනද, හොඳම කලවයසේදී පිත්ත බිම තියන්නට තීරණය කල කුමාර් සංගක්කාර නම් වූ ක්‍රිකට් පුරාවෘත්තය, ලකුණු 135 ට සියලු දෙනා දැවී ගිය ලෝක කුසලාන අවසන් පූර්ව ඉනිමක 8 වන කඩුල්ල වී, මල් වරුසාවක් මැදින් පිටියෙන් ඉවත් විය.ලෝක කුසලානයක උණුහුම විදින්නට ලෝක පූජිත සංගාටත් මහේලටත් වරම් නොවීය. ඒ සමුගැනීම ද අතිශයින්ම වේදනාබර විය.



පිටිය මැද කැරකෙන ලකුණු මැෂිම, ඒකාන්තර කෝණ ගත කල මනරම් වූ cover drive පහර,කඩුල්ල පසුපසින් පන්දුවට එරෙහිව බැදි ප්‍රාකාරය,ශතකයක් අවසන නිහතමානීව ඉහළට එසවෙන පිත්ත,එංගලන්තයේ සුද්දන් පවා වර්ණනා කල ඔහුටම අනන්‍ය වූ වාග් විලාසය; මේ  සියල්ල සංගක්කාර නම් වූ ඒ අසහාය පුරාවෘත්තය අප මතකයන් තුළ සදාකාලික කරන්නට විය.

හුසේන් බෝල්ට්; ලොවක් ආදරය කල ජැමෙයිකා දූපත් වලින් මතු වූ සිනහව, ඔබේ වාර්තා ඔබම බිදලන විට ඇගිලි අහසට මුසු කර සැමරූ ජයග්‍රාහී ලීලාව, ලොව සතර දිග් භාගයෙන් පැමිණි ඡායාරූප ශිල්පීන් ඔබව කාච ගත කරද්දී ඔබ ඔවුන්ව කාච ගත ආකාරය සකල වාසී ලෝක ජනයා තව චිරාත් කාලයක් සිහිකරනු ඇත. එදා ලන්ඩන් ධාවන තීරුව මත දණ ගසා ජස්ටින් ගැට්ලින් ඔබට ආචාර කලේ යම් සේද මේ පුංචි දූපතෙන් මුහුදු සැතැපුම් ගණනාවක් එපිටින් වූ රටක උපන් ඔබට අප මෙසේ ආචාරය පුදන්නෙමු. ඒ ක්‍රීඩාවේ හැටිය.ජය පරාජයට සමුගැනීම් අදාළ නැත. අදාල වන්නේ විදදරාගැනීම් පමණි.
සමුගැනීම්  සැමවිටම fairy tale විය නොහැකිය.  වේදනාබර විය හැකිය. නමුත් චරිතයන් පුරාවෘත්තයන් වූ කල ඔවුන් ඉතිරි කල මතකයන් සදා අමරණීය ය.


එබැවින් උත්කර්ෂවත් විය යුත්තේ සමුගැනීම් නොවේ. මතකයන් පමණි.

Friday, March 3, 2017

ඒක වැරැද්දක් නෙමෙයි. ඒ ආදරේ හැටි

`ජීවිතේ හැමදාම එකම විදියට තියෙන්නෙ නෑනේ. හැමදේම එකම විදියට අපි එක්ක ඉන්නෙත් නැහැ. ඉස්සො වඩෙත් එහෙමයි. හැලහැප්පීම් , විරාමයන් නැඟීසිටීම් මේ හැමදේම එතනත් තියෙනවා. කෙටි විරාමික නැවතීමකින් අනතුරුව නැවතත් ඉස්සො වඩේ - හුස්ම දිරවන කටගැස්මත් එක්ක කල එළි බහින්නයි සූදානම.

දෙයක් පටන්ගන්න හොඳම තැන ඒ දේ නැවතුන තැන වෙන්න පුළුවන්.ඒත් අද ඉස්සො වඩේ පටන්ගන්න යන්නෙ මේ වෙනකන් මේ තීරුවෙ කතා නොවුන ටිකක් වෙනස් ඒත් සුන්දර තැනකින්. ඒ සුන්දරම තැන තමයි ආදරය.

+ ඒක ඒ තරම් අමාරුද? අපිට ආදරය නොකරන කෙනෙක්ට ආදරය කරන්න

-   ඒක තමා ලෝකයේ තියෙන සුන්දරම හැඟීම

+ කවදාකවත් හිත දුර්වල වෙලා නැද්ද

-   කවදාවත්ම නැහැ

  +   හිමිනොවන ආදරය තරම් බලගතු දෙයක් ලෝකයේ තවත් නැහැ. අනෙක් බැඳීම් වගේ ඒක කොහෙවත් හුවමාරු වෙන්නෙ නැහැ. ඒක මගේ සහ මගේ විතරමයි.මේ වගේ ආදරයකට ඇය මා සමඟ සිටිය යුතුම නැහැ.



මේ චිත්‍රපට දෙබසක්. බොලිවුඩය විතරක් නෙමෙයි ලෝකයම ආදරයෙන් මුසපත් කල චිත්‍රපට නිෂ්පාදකයෙක් වුන කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කල Ae dhil Mushkil චිත්‍රපටියේ එන හිත හිරිවට්ටන දෙබසක්. ඇත්තටම Sharukh Khan මේ විත්‍රපටියේ පෙනී සිටින්නේ මේ දර්ශන වාරයේ පමණයි. නමුත් best romantic dialogues of Bollywood කියලා ඔබ you tube හි type කළොත් දර්ශනය වෙන ලැයිස්තුවේ තැනක මේ video එකත් ඔබට හමුවෙනවා. බොලිවුඩ් සිහින කුමරා වන Sharukh Khan සහ ලොවක් රංගනයෙන් සහ රූපශ්‍රීයෙන් වසඟ කල Aishwarya Rai වගේම Bollywood ඇතුළෙ සෙල්ලක්කාරකම් බොහොමයක් කල Ranbeer Kapoor මේ දර්ශනය තුළ පෙනී සිටින නිසා මෙම clip එක hit වුණා වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය ප්‍රේමයේ  අධ්‍යාත්මික පැතිකඩක් මේ තුළ නිරූපණය වෙන නිසා, මම කියන්න යන කතන්දරයට උඩ ලියපු වචන යම්  පූර්විකාවක් කරගන්න අදහස් කලා.

ආදරය අර්ථ දක්වන විදියක් ගැන මට හිතාගන්න අමාරුයි. මම මෙහෙම කියන්නම්. මේ අකුරු 4 ඔයාට දැනුන ලස්සනම තැන, ඒ සුන්දරම මතකය හරි සිහිනය හරි තියන තැනට ඔයා ඔයාගෙ හිත ඇතුළෙම පොඩි රස්තියාදුවක් ගහන්න.අතීතය, වර්තමානය. අනාගතය වුනත් ප්‍රශ්නයක් නැහැ.

ඒ ලස්සනම මතකයේ හරි හීනයේ හරි ඉඳන් ඉස්සරහට, අපි ආදරය ගැන කතා කරමු.

ජීවිතය ජීවත් කරවන්නෙ බලාපොරාත්තු. ඒ බලාපොරොත්තු වලට හුස්ම දෙන්නෙ ආදරය. හිතට දැනුන ආදරයක් බැඳීමක් එක්ක ආදරයෙන් තනිවෙන්න අපි හැමකෙනෙක්ම වාසනාවන්ත නැහැ.ඒ වගේ ලස්සනම හීනයක් ඇතුළෙ බොහොම සැහැල්ලුවට ජීවිතේ කුරුලු පිහාටුවක් වගේ පාකරන්න තියනවනම්... ජීවිතය කියන්නෙම අන්න ඒකට...

සම්මතයේ විදිය ඒ විදිය වුනත් හිත් උමතු කරවන සුන්දරත්වය ඇතුළෙ විඳවීම් රිදවීම් නැතිවාම නෙමෙයි. බැඳීම්වල අහිමිවීම්වල වේදනාව ඔබ හොඳාකාරයෙන්ම අත්විඳලා තියෙන නිසා මම ඒ ගැන හැඩතල දාලා විස්තර කරන්න යන්නෙ නැහැ. කොහොම වුණත් ජීවිතය ජීවත් කරවපු ආදරයකින් මිදෙනවා, අමතක කරනවා කියන්නෙ අතිශය සංකීර්ණ වුණ ශාරීරික සහ මානසික ව්‍යායාමයක්. ඒ නිසා හිමිවීමක් අයිතියක් නැති වුණත් හැමදාම අපි ඒ ආදරේ එක්ක, මතක එක්ක හිතින් තනිවෙනවා.
ඒ ආදරේ ගැන. මේ concept එක ටිකක් විශේෂීකරණය කරලා කරළියට ගේනවා සැබෑ ආදරය කියලා.




සැබෑ ආදරය ගැන පහුගිය කාලේ නොයෙකුත් මත ඉදිරිපත් වුනා. ඒ ඉදිරිපත් වුන මත අතරෙ, සුලභව ඇහුන දෙයක් තමා සැබෑ ආදරය කියන්නෙ අතහැරීම. එහෙමත් නැත්නම් පරිත්‍යාගය කියන මතය. සුනිල් එදිරිසිංහ මහතා ගායනය කරන, හුලවාලි චිත්‍රපටයේ එන කුඩා ගමේ මද්දහනේ ගීතයේ මේ කාරණය අපූරුවට විස්තර වෙනවා.

ආල වඩන අකුරු‍ පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිදුන දා කුමටද කඳුළු හෙලනු සකි
ආල වඩන යන තේරුම බෝසත්කම සකි

කතාවෙ හැටියට ඔහුගේ බිරිඳ ඔහුව හැරයනවා. යන්නෙ ඔහු ඇයව සරසන්න රිදී පොටක් අරන් එන්න ඈත ගම් පළාතකට යන අතරවාරෙ. මේ හිත් කම්පනය කරවන විරහ වේදනාව, කලාකරුවා ඉතා විචිත්‍රවත් වූ ප්‍රේමණීය ප්‍රකාශනයක් බවට පත්කරනවා. ආදරය කියන මේ තේරවිල්ල ලිහා ගන්න රෑට තනි පැදුරෙ නිදන තනිකඩ හිතකට පුළුවන්කමක් නැහැ.ඒවගේම ආදරය කියන්නෙම බෝසත්කම නිසා ආදරය බිඳුණු කාලයක හඬා දොඩා පලක් නොවන වග මේ ගීත රචකයා අපිට පසක් කරනවා.

බෝධිසත්වයෙක් කියන්නෙ සියළු බැඳීම් අත්හල අයෙක්. අපි වගේ පෘථග්ජනයන්ට, බැඳීම් අත්හරින එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. දිගුකාලීන අවබෝධයක්, තේරුම් ගැනීමක්, අදහාගත නොහැකි ඉවසීමක් වගේම ඔබවම මවිත කරවන දරාගැනීමක් ඔබ තුළ පවතින්න ඕන. ආදරය බෝසත්කමට අංගසම කරන්න පුළුවන් වෙන්නෙ මේ සියල්ලෙන් පරිපූර්ණ පෘථග්ජන හිතකට විතරයි.

අන්න ඒ නිසාමප්‍රේමවන්තයෙක්ට බෝධිසත්වයෙක් වෙන්න අමාරුයි. කොයිතරම් එහෙම වෙනවා කියලා හිතුවත්හිතක් වෙනුවෙන් ඇතිවන හිමිකාරිත්වය මගේ කියන හැගීමඅයිතිකාරකමආත්මාර්ථයකොහෙන්මහරි මතු වෙනවා.අන්න එතනදි තමා ආදරය කරන හිත් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආදරේ පස්සෙ ලුහුබදින්නෙ.හඩා වැටෙන්නෙ. ඒක වැරැද්දක් නෙමෙයි. ඒ ආදරේ හැටි. කොටින්ම ඔවුන්ට තමන්ගෙ ආදරය දැනෙන හැටි. බොහෝ දෙනා කාලයත් එක්ක මේ අප්‍රමාණ විඳවීමෙන් ගොඩ එනවා. නමුත් සමහරු ජීවිතය පුරාවට ප්‍රේමණීය මතක එක්ක විදවනවා.







ආදරය කියන සංකල්පය දිහා බාහිරින් බලල නොයෙක් දෙනාට නොයෙක් අර්ථකථන දෙන්න පුළුවන්. ඒ වුණත් මේකෙ සංකීර්ණ බව දන්නෙ මේ subject එක ඇතුළෙ විඳින්න පුළුවන් උපරිමේ විඳපු ඒ වගේම අම්බානෙක charter වෙලා, පදම් වෙලා, රස්තියාදු වෙච්ච හිත් විතරයි. එහෙම හිතකට පුළුවන් වෙයි ආදරය පරිත්‍යාගයක්ද හිමිකරගැනීමක්ද කියන පටලැවිල්ල ලිහල දෙන්න. නමුත් හැඟීම් කියන දෙය, ආදරය, අපි අපිට දැනෙන විදිය අතිශයින්ම සාපේක්ෂයි. ඒ නිසා අවසානයේ මෙය සිදුවිය යුත්තේ මේ ලෙස යැයි කියා ආදරණීය විද්‍යාත්මක නිගමනයකට එන්න අපිට හැකියාවක් නැහැ. එහෙම අවශ්‍යත් නැහැ.

ඒ නිසා ඔබට තියෙන්නෙ ආදරය කරන්න, පොතේ විදියට නෙමෙයි, ඔබේ විදියට….

එහි ප්‍රතිඵලය, සමහර විට ඔබ සැබෑ ආදරය විඳින ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවනත්තියක්. එහෙම නැත්නම් අත් හැරීම පරිත්‍යාගය පුරුදු කල බෝධිසත්වයෙක්. මේ කොහොම වුනත් අවසානයේ ඔබ ආදරය ප්‍රේමය වින්දනය කල ආදරණීය මනුෂ්‍යයෙක්.

ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. නැවත හමුවෙමු.


-චරිත් ගුණරත්න-

Monday, February 13, 2017

පෙබරවාරි 14 - පිළිවෙතින් පෙළ ගැසෙමු

පෙබරවාරි 14, එහෙම නැත්නම් ආදරවන්තයන්ගේ දිනය ගැන සමහරු නම් කියන්නෙ ඉතින් අපිට ගානක්වත් නෑනේ කියලා. තව සමහරු දත කට මැදගෙන ඉන්නෙ පෙම්වතා පෙම්වතියව surprise කරන්න. කොහොම වුණත් වෙලාවකට හිතෙනවා ආදරවන්තයන්ගේ දිනය කියන්නෙ සමාජය ඇතුළෙ සෑහෙන අබ්ලික් වෙලා තියන concept එකක් ද කියලා. මේ ගැන කතාකරන්නත් එක්ක ඉස්සො වඩේ ඇතුළෙ, අද අපේ කටගැස්ම වැලන්ටයින්. එහෙම නැත්නම් ආදරවන්තයන්ගේ දිනය

වැඩිහිටි,ගුරු,පරිසර,ජල,ඒඩ්ස්,අම්මාවරුන්ගේ දිනය,පියවරුන්ගේ දිනය,නිදහස,අළුත් අවුරුදු,තැලසීමියා නිවාරණ,දියවැඩියා නිවාරණ,තරුණ ආදී වශයෙන් එකී මෙකී නොකී නොයෙක් අරමුණු සහ පිරිස් උදෙසා දින ගණනාවක් කැලැන්ඩරය ඇතුළෙ නම් වෙලා තියෙනවා.පොඩි අවුලකට තියෙන්නෙ මේ කිසිම දිනයකට නැති විවේචනයක් සමාජය විසින්ම ආදරවන්තයන්ගේ දිනයට එල්ලවෙන එක.



මිනිසා මව්කුසින් එළිය දුටු දවසෙ ඉඳලා අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන මොහොත වෙනකන්ම නොනවත්වාම ආදරය කරනවා. ජීවිතේ අපි දකින බලාපොරොත්තු ආදරයෙන් පුරවගෙන ඒ ආදරණීය බලාපොරොත්තු එක්ක හුස්ම ගන්න අපි කැමතියි. මේ තරම් සුන්දර වූත් ආදරණීය වූත් හැඟීමක් ගැන කතාවෙන්න හැදිලා තියන දවසෙ වර්තමානයේ සිද්ධ වෙන්නෙ පැල් බැඳගෙන ආදරයටයි ආදරය කරන උන්ටයි පහර ගහන එක.


ආදරවන්තයන්ගේ දිනයට පහරක් වදින්නෙ අන්ත කීපයකින්. එක logic එකක් තමයි ආදරය එක් දිනකට පමණක් සීමා නොවිය යුතු යැයි පිරිසක් පැවසීම. අනික තමයි ලංකාවට ආවේණික දිනයක් නොවීම. තව එකක් තමයි ආදරය විකිණෙන දවසක් වීම.


ආදරවන්තයන්ට දිනයක් අවශ්‍ය නැහැ. එක දිනයකට ආදරය කොටු විය යුතු නැහැ කියන්නෙ අපිට ඇසෙන පොදු කාරණාවක්. ආදරවන්තයන්ට දිනයක් නිර්මාණය වුනා කියන්නෙ ඒ දිනයට විතරක් ආදරය කරන්න ඕන කියන එක නෙමෙයි. හිතන්න අපි උපන්දිනය දවසෙ උපන්දිනය සමරනවා කියන්නෙ එදාට විතරක් ජීවත් වෙලා ඉතුරු දවස් 364 ඇතුළෙ නිද්‍රාවට පත්වෙනවා කියන එක නෙමෙයිනෙ. හැමදවසක්ම සාමාන්‍ය ආකාරයට ගතවෙනවා.නමුත් උපන්දිනය සුවිශේෂී සැමරුම් දිනයක්. ආදරවන්තයන්ගේ දිනයත් එක්තරා සැමරුමක්. මෙහි මූලාශ්‍රය වන්නෙත් එදා ක්ලෝඩියස් අධිරාජ්‍යයාට එරෙහිව ආදරය වෙනුවෙන් හඬ නැඟීමේ වරදට සිරබත් වුනු වැලන්ටයින් සාමිවරයාව සිහිකිරීම. ආදරවන්තයන්ගේ දිනය දවසෙ පෙම්වතෙක් පෙම්වතියක් අතරෙ හුවමාරු වන සැමරුම් පතක්, කෙටි පණිවිඩයක්,රෝස මලක් මේ හැමදේම ආදරණීය මතක සිහිවටන.මේ වගේ දෙයකින් ආදරය සැමරුවා කියල ඒ ආත්මීය බැඳීම තවත් හිතේ දළුලනවා මිසක් අඩුවක් නම් වෙන්නෙ නැහැ. එක දවසකට ආදරය කොටු වෙන්නෙත් නැහැ.



අනිත් තර්කය තමයි මෙය විජාතික සංකල්පයක් වීම. 2500 සංස්කෘතියෙන් ඔළුව උදුම්මගත්ත අපේ සමාජයට අනුව මේ logic එක මතුවෙන එක සාධාරණයි. වැලන්ටයින් අපේ නොවන බව ඇත්ත. නමුත් ආදරවන්තයන්ගේ දිනය දවසෙ පෙම්වතිය meet වෙන එකෙන් වෙන සමාජ සංස්කෘතික පරිහානිය මොකද්ද කියන එක නම් දැවෙන ප්‍රශ්නයක්.
“Marketing. අනිත් logic එක.ආදරවන්තයන්ගේ දිනය කියන්නෙ ආදරය විකිණෙන දවසක්.ආදරය පූජනීයයි. විකිණෙන්න ඕන දෙයක් නෙමෙයි…


සමාජවාදයයි ධනේශ්වරයයි හත්පොළේ ගාගෙන රඟදෙන උදවියගෙන් මේ වගේ තර්කයක් බලාපොරොත්තු වීම සාධාරණයි. අපි මෙහෙම හිතමු. මේ ලෝකෙ විකිණෙන් නැති දේවල් මොනවාද? අම්මාගේ ආදරේ ඉඳන් පොළොවට පස් වෙන පෙට්ටිය වෙනකන්ම අපි ඇතුළු හැමදේම නොයෙක් ආකාරයෙන් විකිණෙනවා. කොටුවේ pavement එකේ තට්ටුවක, තොරොම්බල් කඩේක valentine item 2-3ක් විකිණෙන එක ආදරය විකිණීමට සමාන කරනවනම් අපි සමාජයක් විදියට ඉන්නෙ ගොඩක් පසුපසින්.


Marketing වලදි මිනිස්සු තමන්ගෙ භාණ්ඩ හා සේවා විකුණාගන්න නානාප්‍රකාරයේ වෙළඳ උපක්‍රම භාවිතා කරනවා. වැලන්ටයින් විතරක් නෙමෙයි. සිංහල අවුරුද්ද, නත්තල වගේ උත්සව කාල වලදී ඒ ඒ පාරිභෝගික ඒකක ඉලක්ක කරලා marketing campaigns ක්‍රියාත්මක වෙනවා. ජිවිතේ පළවෙනි වතාවට ඇඳුම් අඳිනවා වගේ කොළඹ කිරිබත්ගොඩ ඇඳුම් කඩවල රස්තියාදු වෙන ජීවිත අපට පෙන්නන්නෙ ඒ campaign වල සාර්ථකත්වය. ඒ වෙලාවල් වලදි නත්තල විකුණන් කනවා, අවුරුද්ද විකුණන් කනවා නොකියා, හන්දි ගානේ ඇඳුම් කඩවල රස්තියාදු වෙන මිනිස්සුම, ආදරවන්තයන්ගේ දිනය විතරක් 14 වෙනිදාට විකිණෙනවා කියනවා.


මෙතන තියෙන්නෙ සම්පූර්ණයෙන් පරස්පර සංසිද්ධී 2ක්. කෙනෙක් විකුණන පමණින් එතන විකිණෙන්න අපිට ඕන නැහැ. ඔවුන් තමන්ගේ භාණ්ඩ හා සේවා market කරගනීවි. අපිට තියෙන්නෙ අපේ විදියට අපේ ආදරය පවත්වාගෙන යන්න.

ඇත්තටම මෙතන marketing, cultural concept එකක් උඩ දාගෙන යටින් දුවන්නෙ මිනිස්සුන්ගෙ ඔළුවල යටිහිත්වල මතුවෙන ඊර්ෂ්‍යාව, කුහකකම වගේ ඕජස් ගලන සිතුවිලි. තව කෙනෙක් ආදරය කල යුතුද නැද්ද, එය විඳිය යුතුද නැද්ද යන්න තීරණය කිරිමේ අයිතිය තුන්වන පාර්ශ්වයකට නැහැ. ඒක ඔවුන්ගේ නිදහස. වර්තමාන ලෝකෙ යම් ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා නම් ඒකට හේතුව ආදරය, ප්‍රේමය වගේ මානුෂීය හැඟීම් මිනිස් සිත් වලින් ඈත්වෙලා ඊර්ෂ්‍යාව, කුහකකම වගේ සිතුවිලි හිත් වලට ළං වීම. අපි කරන්න ඕන ඒ හැඟීම් තවත් වලපල්ලට යවන් නැතුව ආදරය ප්‍රේමය ඉපදෙන තැන්වලට වැඩි වැඩියෙන් ප්‍රේම කිරීම.


ආදරය කරන අයියල අක්කල නංගිල මල්ලිලත් මතක තියාගතයුතු යමක් තියෙනවා. ආදරේ සමරනවා කියන්නෙ tution class කට් කරල ගිහින් 600 රූම් ඇතුළෙ ලගින එකවත්, beach වල park වල අගුපිල්වල ලගින එකවත් නෙමේ විත්තිය.සැබෑ ආදරය කියන්නෙ ඊට වඩා එහා ගිය ආත්මීය හැඟීම් ප්‍රකාශනයකට.


ආදරය කරන්න පුළුවන් පෙම්වතාට පෙම්වතියට විතරද? අපිට ඊට වඩා පුළුල් තැනකින් මේ ආදරේ දිහා බලන්න බැරිද? ආදරය කරන්න, ආදරය විඳින්න අළුත් මානයක් හොයන් යන්න බැරිද? ආදරවන්තයන්ගේ දවසෙ ඇතුළෙ ආදරේ ඇරෙන්න අපිට කතාකරන්න දේවල් නැද්ද?
අපි ඒ ගැන ඉස්සො වඩේ තුළින් කතාකරන්න සූදානම්. ගිහින් එන්නම්... ආදරෙන් ඉන්න.


-චරිත් ගුණරත්න-