Monday, February 13, 2017

පෙබරවාරි 14 - පිළිවෙතින් පෙළ ගැසෙමු

පෙබරවාරි 14, එහෙම නැත්නම් ආදරවන්තයන්ගේ දිනය ගැන සමහරු නම් කියන්නෙ ඉතින් අපිට ගානක්වත් නෑනේ කියලා. තව සමහරු දත කට මැදගෙන ඉන්නෙ පෙම්වතා පෙම්වතියව surprise කරන්න. කොහොම වුණත් වෙලාවකට හිතෙනවා ආදරවන්තයන්ගේ දිනය කියන්නෙ සමාජය ඇතුළෙ සෑහෙන අබ්ලික් වෙලා තියන concept එකක් ද කියලා. මේ ගැන කතාකරන්නත් එක්ක ඉස්සො වඩේ ඇතුළෙ, අද අපේ කටගැස්ම වැලන්ටයින්. එහෙම නැත්නම් ආදරවන්තයන්ගේ දිනය

වැඩිහිටි,ගුරු,පරිසර,ජල,ඒඩ්ස්,අම්මාවරුන්ගේ දිනය,පියවරුන්ගේ දිනය,නිදහස,අළුත් අවුරුදු,තැලසීමියා නිවාරණ,දියවැඩියා නිවාරණ,තරුණ ආදී වශයෙන් එකී මෙකී නොකී නොයෙක් අරමුණු සහ පිරිස් උදෙසා දින ගණනාවක් කැලැන්ඩරය ඇතුළෙ නම් වෙලා තියෙනවා.පොඩි අවුලකට තියෙන්නෙ මේ කිසිම දිනයකට නැති විවේචනයක් සමාජය විසින්ම ආදරවන්තයන්ගේ දිනයට එල්ලවෙන එක.



මිනිසා මව්කුසින් එළිය දුටු දවසෙ ඉඳලා අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන මොහොත වෙනකන්ම නොනවත්වාම ආදරය කරනවා. ජීවිතේ අපි දකින බලාපොරොත්තු ආදරයෙන් පුරවගෙන ඒ ආදරණීය බලාපොරොත්තු එක්ක හුස්ම ගන්න අපි කැමතියි. මේ තරම් සුන්දර වූත් ආදරණීය වූත් හැඟීමක් ගැන කතාවෙන්න හැදිලා තියන දවසෙ වර්තමානයේ සිද්ධ වෙන්නෙ පැල් බැඳගෙන ආදරයටයි ආදරය කරන උන්ටයි පහර ගහන එක.


ආදරවන්තයන්ගේ දිනයට පහරක් වදින්නෙ අන්ත කීපයකින්. එක logic එකක් තමයි ආදරය එක් දිනකට පමණක් සීමා නොවිය යුතු යැයි පිරිසක් පැවසීම. අනික තමයි ලංකාවට ආවේණික දිනයක් නොවීම. තව එකක් තමයි ආදරය විකිණෙන දවසක් වීම.


ආදරවන්තයන්ට දිනයක් අවශ්‍ය නැහැ. එක දිනයකට ආදරය කොටු විය යුතු නැහැ කියන්නෙ අපිට ඇසෙන පොදු කාරණාවක්. ආදරවන්තයන්ට දිනයක් නිර්මාණය වුනා කියන්නෙ ඒ දිනයට විතරක් ආදරය කරන්න ඕන කියන එක නෙමෙයි. හිතන්න අපි උපන්දිනය දවසෙ උපන්දිනය සමරනවා කියන්නෙ එදාට විතරක් ජීවත් වෙලා ඉතුරු දවස් 364 ඇතුළෙ නිද්‍රාවට පත්වෙනවා කියන එක නෙමෙයිනෙ. හැමදවසක්ම සාමාන්‍ය ආකාරයට ගතවෙනවා.නමුත් උපන්දිනය සුවිශේෂී සැමරුම් දිනයක්. ආදරවන්තයන්ගේ දිනයත් එක්තරා සැමරුමක්. මෙහි මූලාශ්‍රය වන්නෙත් එදා ක්ලෝඩියස් අධිරාජ්‍යයාට එරෙහිව ආදරය වෙනුවෙන් හඬ නැඟීමේ වරදට සිරබත් වුනු වැලන්ටයින් සාමිවරයාව සිහිකිරීම. ආදරවන්තයන්ගේ දිනය දවසෙ පෙම්වතෙක් පෙම්වතියක් අතරෙ හුවමාරු වන සැමරුම් පතක්, කෙටි පණිවිඩයක්,රෝස මලක් මේ හැමදේම ආදරණීය මතක සිහිවටන.මේ වගේ දෙයකින් ආදරය සැමරුවා කියල ඒ ආත්මීය බැඳීම තවත් හිතේ දළුලනවා මිසක් අඩුවක් නම් වෙන්නෙ නැහැ. එක දවසකට ආදරය කොටු වෙන්නෙත් නැහැ.



අනිත් තර්කය තමයි මෙය විජාතික සංකල්පයක් වීම. 2500 සංස්කෘතියෙන් ඔළුව උදුම්මගත්ත අපේ සමාජයට අනුව මේ logic එක මතුවෙන එක සාධාරණයි. වැලන්ටයින් අපේ නොවන බව ඇත්ත. නමුත් ආදරවන්තයන්ගේ දිනය දවසෙ පෙම්වතිය meet වෙන එකෙන් වෙන සමාජ සංස්කෘතික පරිහානිය මොකද්ද කියන එක නම් දැවෙන ප්‍රශ්නයක්.
“Marketing. අනිත් logic එක.ආදරවන්තයන්ගේ දිනය කියන්නෙ ආදරය විකිණෙන දවසක්.ආදරය පූජනීයයි. විකිණෙන්න ඕන දෙයක් නෙමෙයි…


සමාජවාදයයි ධනේශ්වරයයි හත්පොළේ ගාගෙන රඟදෙන උදවියගෙන් මේ වගේ තර්කයක් බලාපොරොත්තු වීම සාධාරණයි. අපි මෙහෙම හිතමු. මේ ලෝකෙ විකිණෙන් නැති දේවල් මොනවාද? අම්මාගේ ආදරේ ඉඳන් පොළොවට පස් වෙන පෙට්ටිය වෙනකන්ම අපි ඇතුළු හැමදේම නොයෙක් ආකාරයෙන් විකිණෙනවා. කොටුවේ pavement එකේ තට්ටුවක, තොරොම්බල් කඩේක valentine item 2-3ක් විකිණෙන එක ආදරය විකිණීමට සමාන කරනවනම් අපි සමාජයක් විදියට ඉන්නෙ ගොඩක් පසුපසින්.


Marketing වලදි මිනිස්සු තමන්ගෙ භාණ්ඩ හා සේවා විකුණාගන්න නානාප්‍රකාරයේ වෙළඳ උපක්‍රම භාවිතා කරනවා. වැලන්ටයින් විතරක් නෙමෙයි. සිංහල අවුරුද්ද, නත්තල වගේ උත්සව කාල වලදී ඒ ඒ පාරිභෝගික ඒකක ඉලක්ක කරලා marketing campaigns ක්‍රියාත්මක වෙනවා. ජිවිතේ පළවෙනි වතාවට ඇඳුම් අඳිනවා වගේ කොළඹ කිරිබත්ගොඩ ඇඳුම් කඩවල රස්තියාදු වෙන ජීවිත අපට පෙන්නන්නෙ ඒ campaign වල සාර්ථකත්වය. ඒ වෙලාවල් වලදි නත්තල විකුණන් කනවා, අවුරුද්ද විකුණන් කනවා නොකියා, හන්දි ගානේ ඇඳුම් කඩවල රස්තියාදු වෙන මිනිස්සුම, ආදරවන්තයන්ගේ දිනය විතරක් 14 වෙනිදාට විකිණෙනවා කියනවා.


මෙතන තියෙන්නෙ සම්පූර්ණයෙන් පරස්පර සංසිද්ධී 2ක්. කෙනෙක් විකුණන පමණින් එතන විකිණෙන්න අපිට ඕන නැහැ. ඔවුන් තමන්ගේ භාණ්ඩ හා සේවා market කරගනීවි. අපිට තියෙන්නෙ අපේ විදියට අපේ ආදරය පවත්වාගෙන යන්න.

ඇත්තටම මෙතන marketing, cultural concept එකක් උඩ දාගෙන යටින් දුවන්නෙ මිනිස්සුන්ගෙ ඔළුවල යටිහිත්වල මතුවෙන ඊර්ෂ්‍යාව, කුහකකම වගේ ඕජස් ගලන සිතුවිලි. තව කෙනෙක් ආදරය කල යුතුද නැද්ද, එය විඳිය යුතුද නැද්ද යන්න තීරණය කිරිමේ අයිතිය තුන්වන පාර්ශ්වයකට නැහැ. ඒක ඔවුන්ගේ නිදහස. වර්තමාන ලෝකෙ යම් ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා නම් ඒකට හේතුව ආදරය, ප්‍රේමය වගේ මානුෂීය හැඟීම් මිනිස් සිත් වලින් ඈත්වෙලා ඊර්ෂ්‍යාව, කුහකකම වගේ සිතුවිලි හිත් වලට ළං වීම. අපි කරන්න ඕන ඒ හැඟීම් තවත් වලපල්ලට යවන් නැතුව ආදරය ප්‍රේමය ඉපදෙන තැන්වලට වැඩි වැඩියෙන් ප්‍රේම කිරීම.


ආදරය කරන අයියල අක්කල නංගිල මල්ලිලත් මතක තියාගතයුතු යමක් තියෙනවා. ආදරේ සමරනවා කියන්නෙ tution class කට් කරල ගිහින් 600 රූම් ඇතුළෙ ලගින එකවත්, beach වල park වල අගුපිල්වල ලගින එකවත් නෙමේ විත්තිය.සැබෑ ආදරය කියන්නෙ ඊට වඩා එහා ගිය ආත්මීය හැඟීම් ප්‍රකාශනයකට.


ආදරය කරන්න පුළුවන් පෙම්වතාට පෙම්වතියට විතරද? අපිට ඊට වඩා පුළුල් තැනකින් මේ ආදරේ දිහා බලන්න බැරිද? ආදරය කරන්න, ආදරය විඳින්න අළුත් මානයක් හොයන් යන්න බැරිද? ආදරවන්තයන්ගේ දවසෙ ඇතුළෙ ආදරේ ඇරෙන්න අපිට කතාකරන්න දේවල් නැද්ද?
අපි ඒ ගැන ඉස්සො වඩේ තුළින් කතාකරන්න සූදානම්. ගිහින් එන්නම්... ආදරෙන් ඉන්න.


-චරිත් ගුණරත්න-