Friday, March 3, 2017

ඒක වැරැද්දක් නෙමෙයි. ඒ ආදරේ හැටි

`ජීවිතේ හැමදාම එකම විදියට තියෙන්නෙ නෑනේ. හැමදේම එකම විදියට අපි එක්ක ඉන්නෙත් නැහැ. ඉස්සො වඩෙත් එහෙමයි. හැලහැප්පීම් , විරාමයන් නැඟීසිටීම් මේ හැමදේම එතනත් තියෙනවා. කෙටි විරාමික නැවතීමකින් අනතුරුව නැවතත් ඉස්සො වඩේ - හුස්ම දිරවන කටගැස්මත් එක්ක කල එළි බහින්නයි සූදානම.

දෙයක් පටන්ගන්න හොඳම තැන ඒ දේ නැවතුන තැන වෙන්න පුළුවන්.ඒත් අද ඉස්සො වඩේ පටන්ගන්න යන්නෙ මේ වෙනකන් මේ තීරුවෙ කතා නොවුන ටිකක් වෙනස් ඒත් සුන්දර තැනකින්. ඒ සුන්දරම තැන තමයි ආදරය.

+ ඒක ඒ තරම් අමාරුද? අපිට ආදරය නොකරන කෙනෙක්ට ආදරය කරන්න

-   ඒක තමා ලෝකයේ තියෙන සුන්දරම හැඟීම

+ කවදාකවත් හිත දුර්වල වෙලා නැද්ද

-   කවදාවත්ම නැහැ

  +   හිමිනොවන ආදරය තරම් බලගතු දෙයක් ලෝකයේ තවත් නැහැ. අනෙක් බැඳීම් වගේ ඒක කොහෙවත් හුවමාරු වෙන්නෙ නැහැ. ඒක මගේ සහ මගේ විතරමයි.මේ වගේ ආදරයකට ඇය මා සමඟ සිටිය යුතුම නැහැ.



මේ චිත්‍රපට දෙබසක්. බොලිවුඩය විතරක් නෙමෙයි ලෝකයම ආදරයෙන් මුසපත් කල චිත්‍රපට නිෂ්පාදකයෙක් වුන කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කල Ae dhil Mushkil චිත්‍රපටියේ එන හිත හිරිවට්ටන දෙබසක්. ඇත්තටම Sharukh Khan මේ විත්‍රපටියේ පෙනී සිටින්නේ මේ දර්ශන වාරයේ පමණයි. නමුත් best romantic dialogues of Bollywood කියලා ඔබ you tube හි type කළොත් දර්ශනය වෙන ලැයිස්තුවේ තැනක මේ video එකත් ඔබට හමුවෙනවා. බොලිවුඩ් සිහින කුමරා වන Sharukh Khan සහ ලොවක් රංගනයෙන් සහ රූපශ්‍රීයෙන් වසඟ කල Aishwarya Rai වගේම Bollywood ඇතුළෙ සෙල්ලක්කාරකම් බොහොමයක් කල Ranbeer Kapoor මේ දර්ශනය තුළ පෙනී සිටින නිසා මෙම clip එක hit වුණා වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය ප්‍රේමයේ  අධ්‍යාත්මික පැතිකඩක් මේ තුළ නිරූපණය වෙන නිසා, මම කියන්න යන කතන්දරයට උඩ ලියපු වචන යම්  පූර්විකාවක් කරගන්න අදහස් කලා.

ආදරය අර්ථ දක්වන විදියක් ගැන මට හිතාගන්න අමාරුයි. මම මෙහෙම කියන්නම්. මේ අකුරු 4 ඔයාට දැනුන ලස්සනම තැන, ඒ සුන්දරම මතකය හරි සිහිනය හරි තියන තැනට ඔයා ඔයාගෙ හිත ඇතුළෙම පොඩි රස්තියාදුවක් ගහන්න.අතීතය, වර්තමානය. අනාගතය වුනත් ප්‍රශ්නයක් නැහැ.

ඒ ලස්සනම මතකයේ හරි හීනයේ හරි ඉඳන් ඉස්සරහට, අපි ආදරය ගැන කතා කරමු.

ජීවිතය ජීවත් කරවන්නෙ බලාපොරාත්තු. ඒ බලාපොරොත්තු වලට හුස්ම දෙන්නෙ ආදරය. හිතට දැනුන ආදරයක් බැඳීමක් එක්ක ආදරයෙන් තනිවෙන්න අපි හැමකෙනෙක්ම වාසනාවන්ත නැහැ.ඒ වගේ ලස්සනම හීනයක් ඇතුළෙ බොහොම සැහැල්ලුවට ජීවිතේ කුරුලු පිහාටුවක් වගේ පාකරන්න තියනවනම්... ජීවිතය කියන්නෙම අන්න ඒකට...

සම්මතයේ විදිය ඒ විදිය වුනත් හිත් උමතු කරවන සුන්දරත්වය ඇතුළෙ විඳවීම් රිදවීම් නැතිවාම නෙමෙයි. බැඳීම්වල අහිමිවීම්වල වේදනාව ඔබ හොඳාකාරයෙන්ම අත්විඳලා තියෙන නිසා මම ඒ ගැන හැඩතල දාලා විස්තර කරන්න යන්නෙ නැහැ. කොහොම වුණත් ජීවිතය ජීවත් කරවපු ආදරයකින් මිදෙනවා, අමතක කරනවා කියන්නෙ අතිශය සංකීර්ණ වුණ ශාරීරික සහ මානසික ව්‍යායාමයක්. ඒ නිසා හිමිවීමක් අයිතියක් නැති වුණත් හැමදාම අපි ඒ ආදරේ එක්ක, මතක එක්ක හිතින් තනිවෙනවා.
ඒ ආදරේ ගැන. මේ concept එක ටිකක් විශේෂීකරණය කරලා කරළියට ගේනවා සැබෑ ආදරය කියලා.




සැබෑ ආදරය ගැන පහුගිය කාලේ නොයෙකුත් මත ඉදිරිපත් වුනා. ඒ ඉදිරිපත් වුන මත අතරෙ, සුලභව ඇහුන දෙයක් තමා සැබෑ ආදරය කියන්නෙ අතහැරීම. එහෙමත් නැත්නම් පරිත්‍යාගය කියන මතය. සුනිල් එදිරිසිංහ මහතා ගායනය කරන, හුලවාලි චිත්‍රපටයේ එන කුඩා ගමේ මද්දහනේ ගීතයේ මේ කාරණය අපූරුවට විස්තර වෙනවා.

ආල වඩන අකුරු‍ පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිදුන දා කුමටද කඳුළු හෙලනු සකි
ආල වඩන යන තේරුම බෝසත්කම සකි

කතාවෙ හැටියට ඔහුගේ බිරිඳ ඔහුව හැරයනවා. යන්නෙ ඔහු ඇයව සරසන්න රිදී පොටක් අරන් එන්න ඈත ගම් පළාතකට යන අතරවාරෙ. මේ හිත් කම්පනය කරවන විරහ වේදනාව, කලාකරුවා ඉතා විචිත්‍රවත් වූ ප්‍රේමණීය ප්‍රකාශනයක් බවට පත්කරනවා. ආදරය කියන මේ තේරවිල්ල ලිහා ගන්න රෑට තනි පැදුරෙ නිදන තනිකඩ හිතකට පුළුවන්කමක් නැහැ.ඒවගේම ආදරය කියන්නෙම බෝසත්කම නිසා ආදරය බිඳුණු කාලයක හඬා දොඩා පලක් නොවන වග මේ ගීත රචකයා අපිට පසක් කරනවා.

බෝධිසත්වයෙක් කියන්නෙ සියළු බැඳීම් අත්හල අයෙක්. අපි වගේ පෘථග්ජනයන්ට, බැඳීම් අත්හරින එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. දිගුකාලීන අවබෝධයක්, තේරුම් ගැනීමක්, අදහාගත නොහැකි ඉවසීමක් වගේම ඔබවම මවිත කරවන දරාගැනීමක් ඔබ තුළ පවතින්න ඕන. ආදරය බෝසත්කමට අංගසම කරන්න පුළුවන් වෙන්නෙ මේ සියල්ලෙන් පරිපූර්ණ පෘථග්ජන හිතකට විතරයි.

අන්න ඒ නිසාමප්‍රේමවන්තයෙක්ට බෝධිසත්වයෙක් වෙන්න අමාරුයි. කොයිතරම් එහෙම වෙනවා කියලා හිතුවත්හිතක් වෙනුවෙන් ඇතිවන හිමිකාරිත්වය මගේ කියන හැගීමඅයිතිකාරකමආත්මාර්ථයකොහෙන්මහරි මතු වෙනවා.අන්න එතනදි තමා ආදරය කරන හිත් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආදරේ පස්සෙ ලුහුබදින්නෙ.හඩා වැටෙන්නෙ. ඒක වැරැද්දක් නෙමෙයි. ඒ ආදරේ හැටි. කොටින්ම ඔවුන්ට තමන්ගෙ ආදරය දැනෙන හැටි. බොහෝ දෙනා කාලයත් එක්ක මේ අප්‍රමාණ විඳවීමෙන් ගොඩ එනවා. නමුත් සමහරු ජීවිතය පුරාවට ප්‍රේමණීය මතක එක්ක විදවනවා.







ආදරය කියන සංකල්පය දිහා බාහිරින් බලල නොයෙක් දෙනාට නොයෙක් අර්ථකථන දෙන්න පුළුවන්. ඒ වුණත් මේකෙ සංකීර්ණ බව දන්නෙ මේ subject එක ඇතුළෙ විඳින්න පුළුවන් උපරිමේ විඳපු ඒ වගේම අම්බානෙක charter වෙලා, පදම් වෙලා, රස්තියාදු වෙච්ච හිත් විතරයි. එහෙම හිතකට පුළුවන් වෙයි ආදරය පරිත්‍යාගයක්ද හිමිකරගැනීමක්ද කියන පටලැවිල්ල ලිහල දෙන්න. නමුත් හැඟීම් කියන දෙය, ආදරය, අපි අපිට දැනෙන විදිය අතිශයින්ම සාපේක්ෂයි. ඒ නිසා අවසානයේ මෙය සිදුවිය යුත්තේ මේ ලෙස යැයි කියා ආදරණීය විද්‍යාත්මක නිගමනයකට එන්න අපිට හැකියාවක් නැහැ. එහෙම අවශ්‍යත් නැහැ.

ඒ නිසා ඔබට තියෙන්නෙ ආදරය කරන්න, පොතේ විදියට නෙමෙයි, ඔබේ විදියට….

එහි ප්‍රතිඵලය, සමහර විට ඔබ සැබෑ ආදරය විඳින ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවනත්තියක්. එහෙම නැත්නම් අත් හැරීම පරිත්‍යාගය පුරුදු කල බෝධිසත්වයෙක්. මේ කොහොම වුනත් අවසානයේ ඔබ ආදරය ප්‍රේමය වින්දනය කල ආදරණීය මනුෂ්‍යයෙක්.

ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. නැවත හමුවෙමු.


-චරිත් ගුණරත්න-