Wednesday, November 8, 2017

ආත්මය දැවෙන රාත්‍රිය

පෙනහළු දවාලන සිසිලසක් ඒ රාත්‍රියට අවැසි බව මම දැන සිටියෙමි. කබානාවේ
පසෙකට වී තෙල් කොළයක් තුළ එකී සාරය කැටි කරන මොහොතේ මා නුඹේ පා ගැටෙන හඩ වින්දනය කළෙමි. තත්පරය ඉතා කුඩා අංශු වලට ඛණ්ඩනය කර කල, එක් අංශුමාත්‍රික කාල මාත්‍රයක් ගතවනු දැනුනේ යම් සේද, නුඹ දෙපා මා අබිමුවට පැමිණෙන තෙක් කාලය ඒ තරම් දිගු යැයි මට දැනෙන්නට විය. වම් උරහිස් කෙළවරෙහි සිට දකුණු උරහිස් කෙළවර දක්වා සීරුවට සක්මන් කල දබරැගිලි තුඩ කේශනාළිකා කෝටි ප්‍රකෝටි ගණනක් කම්පනය කරන්නට වූයේ සර්වාංගයම සලිත කරමින්ය.

මම තවමත් නිසොල්මන්ය. නමුත් අතැගිලි පෙරටත් වඩා චංචලය.

දුඹුරු පාටින් ඔප වූ ඉණට වියතක් පහළ සිට නිරුවත් වූ පාදය මා ගත හරහා වැටෙන අයුරු මතක ය. මා ඇහි පිහාටු යුවල ඇය දෙතොල් මත ගෑවෙන තරමටම අප සමීප ය. මම දෑස් වසා ගත්තෙමි.

දෑස් ඉදිරියෙන් ජනිත වූ බාධකය තුළ මිශ්‍රණය අත දරා සිටින්නට මට නොහැකි වි අතින් ගිලිහුණි.පාලනය ඇයගේ ඒකාධිකාරයට නතුවී හමාරය.

ඇය, ශරීරස්කන්ධයන් එකිනෙක සම්පාත කරමින් ඇටමිඳුළු රිදුම්කන ප්‍රේමයක් දෙතොලතින් දෙතොලතට මුහු කරන්නට විය. මා නිරුවත් උඩු කය පුරා ඒ සියුම් සුසිනිඳු දෑත් විහිද වූ සංයමයම මා අතිශයින් නොඉවසිලිමත් කරන්නට විය.  විශ්වයම මොහොතකට අමතක කර විශ්වයේ ඇයත් මමත් තනිකර අප්‍රමාණික උන්මාදයක කොටස්කරුවන් වීමට මේ කදිම හෝරාව බවට සිත ඉඟි කරන්නට වන්හ.

නමුදු, මම එම ප්‍රේමාන්තික හීනයේ දැවෙන්නට සූදානම් නැත. මා ඇය බද වටා දෑත යවා කාර්යය නිම කරන්නට විය.

මේසය අත පත ගා ලයිටරය අත දැවටුන සැණෙක තොල්පෙති ඇයගේ ග්‍රහණයෙන් මුදාගත් මම, මේ වන තෙක් අසීමිත ඉවසීමකින් පිළියෙළ කරගත් කංසා කූර දෙතොලතර සිර කර දැල්වූයෙමි.  පළමු මාත්‍රාව සුසුම් වලට මුසු කර ප්‍රේමණීය උන්මාදය තවත් අමන්දානන්දයට පත්කළෙමි. දෙවන මාත්‍රාව දුම් වලාවක කැටි කර වාතලයට මුසු කළෙමි. දුම් රොඩු අතරින් රාගයෙන් ඇවිළෙන ඇය නෙත් සඟළ, මම සිතින් වන්දනා කළෙමි.

ඇය අතට පත්වූ කංසා කූරෙන් සංතෘප්තව reverse දුම් ප්‍රවාහයකින් මා දැහැන් ගත කළේ මේ සුසංයෝගය තෘප්තීන් ඉහළම තල වලට ගෙනයමිනි. කංසාවේ අප්‍රමාණික පහසත් ඇය සුසුම් වල තැවරූ ප්‍රේමාතුර රස්නයත් උගුරෙන් පහළට විත් සුසුම් වැල් ප්‍රකම්පනය කරමින් ගත පුරා සිසාරා ගියේ එලෙසින්ය.

ඉහළට එසවූ දෑත් වලින් අවකාශයට නතුවූ ටීෂර්ටය කොහේ පතිත වූවාදැයි නිශ්චිත නැත. මා මුවග, ඇය ගෙල මතින් ආරම්භ ව සුමට වූ දුඹුරු වත ඔස්සේ පහළට සීරුවෙන් රූටන්නට විය.

ටිකිලා බෝතලයේ මූඩිය ඇය කටින් කඩන්නට ඇතැයි මා විශ්වාස කරමි. ඒ අප ගිලී හුන් නොඉවසිල්ලේ ධාරිතාවය යැයි මට අනුමාන කළ හැක. ඉතා කුඩා වීදුරු බදුනක් තුළ පිට අත්ල මත පතිත කළ ලුණු කුඩු ස්වල්පයක් සහ  දෙහි යුෂ බිදක් සමගින් දවාලිය යුතු ටිකිලා උත්ප්‍රේරකය ඇය වත දිගේ අනවරතව මා මුව සොයා පැමිණෙන්නට විය. ඒ, ඇය ටිකිලාව සිරුර මත හළා ගත් බැවිනි.

මා නැවත ඉපදුණෙමි. කංසාවෙන් කුල්මත් ව ටිකිලාවෙන් පදම් වී ඊට නොදෙවෙනි නුරාගික ආශ්චර්යෙන් මත්වූ ආත්මය, දුඹුරු වත පුරා පැතිරුණු සව්දියට අතිශයින් කෑදර  විය. උස් තැන් පහත් තැන් සිසාරා එක සේ ටිකිලාවෙන් තෙත් වු ස්ත්‍රී වත මත, දත් පහරින් සිහිවටන තබන්නට ද අමතක නොකළෙමි.

මම, ඇය ගත මතින් ටිකිලාව වින්දෙමි.

ඇය මා මුවග පහසින් ජීවිතය වින්දාය.



එකෙණෙහිම අප සිටියේ ඒ කුඩා කබානාවේ හරි මැදින් වූ යහන මතය. දසතින් හමා ආ සැඩ සුළං රැළි කවුළු පියන් පත් ලතාවකට උළුවහු මත ගැටෙමින් හඬ නඟන්නට විය. ජනෙල් තිරරෙදි අකීකරුව උස් පහත් වෙමින් දෙපසට වැනෙමින් චලනය වූයේ මනා ලෙස අභ්‍යාස කර ශිල්ප දක්වන බැලේ නර්තන ශිල්පිනියක විලාසයෙනි. ධාරණිපාත වැසි වලින් ගස් අතු ගැලවී වැටෙනුයේ මහා හඬ නංවමිනි. සුළං කෝඩ එම බිත්ති හතර වටා වෙළෙමින් තව තවත් රෞද්‍රව කිසිසේත්ම පාලනය නොවන වේශයෙන් ඉදිරියට ඇදෙන්නට විය. වාතලය දෙදදරුම් කන සේ හඬ තලන්නට එම සුළඟට නිදහස තිබුණි. වෙහෙසක් නුදුටු මහා ජල කඳ පෙරටත් වඩා උද්යෝගයෙන් පොළොව සිපගන්නට විය. තුරු මුදුන් සුළඟට අවනතව අනේකවිධ ඉරියව් පාමින්  නොයෙක් අතට වැනෙමින් රැගුම් පාන්නට විය.

ඒ මොහොත කෙතරම් වේලා පැවතුණිදැයි අප හට අවබෝධයක් නැත.

තවත් රාත්‍රියක් එසේ ආනන්දනීයව ගෙවී ගියේය.

ඒ, විඳවනා බොහෝ දේ අතර අප සොයන විඳිල්ල ය. ආත්මයන් අතර හුවමාරු වන හැඟීම් විදුලි සැරය ය. ගත දෝවනය කරන පිරිමැදීම්වල උත්කර්ෂය ය.
හෙට නැතත් අනිද්දා නැතත් තවත් යම් දිනෙක මෙවන් සුන්දර රාත්‍රීන් උදා වනු ඇත. එදිනට අපි මීටත් වඩා නැවුම්ය. වෙනස්ය. ආත්ම වලට අයිතියක් නැති අපි ආත්මය විඳින රැයක  හිමිකරුවන් වූයෙමු.

සම්මතය පොළොවේ ගසා කෑලි කර, ජීවිතය විඳින රාත්‍රිය මෙය විය.