Wednesday, September 12, 2018

මේක පාපයක්... ජීවිතේ විඳින

නුගේගොඩ අහස; වෙනසක් නැත. ඒ අහස යට එහා මෙහා වන ජීවිත දෙස මට ඇති තරම් වේලා බලා සිටිය හැකිය. බොහෝ ඒවා කලබලකාරීය. යුහුසුළුය. කඩිසර ය.අතරින් පතර එහා මෙහා වන ජීවිත අතර අරමුණක් නොමැතිව සංසරණය වන පංචස්කන්ධයන් ය.

හරියටම මා වැනිය. මට අරමුණක් නැත්තේ නැත. එම අරමුණට ඉතාමත් අපැහැදිලිය. ඉදිරි මිනිත්තු කිහිපය ඒ අපැහැදිලි තැන් පැහැදිලි කරගන්නා මොහොත විය යුතුය. එසේ නැතහොත් මම ජීවිතය පිළිබඳ තීරණයක් ගත යුතුය.

Valley park එකේ ඉතා පිළිවෙළට සකසා ඇති පඳුරු හා කෙටි ගස් අතරින් මම පාර වෙත එබිකම් කරමි. වේලාව 5.40. ඔබ එන්නේ 6.10 ට බව මම නොදැන සිටියා නොවේ. අපේ සුවඳ, කතාබස්, ඉඳහිටක නොවරදවා ම තොල් අගින් මුසුවන රහස්, සියල්ලක්ම දරාගත්, ලෝකයෙන් අප මොහොතකට මංමුලා කල  මේ භූමියට මම අතිශයින් පෙමි කරමි

ඉතින් අදත්, මම නුඹ එනතුරු බලා හිඳිමි. මේ පහුවෙනා මුහුණත් තහඩු මත මම නුඹේ රුව මවාගනිමි. ඒ තරමටම මට මේ ඉවසීම නුහුරුය. නමුදු ඒ කිසිම රුවක, නුඹ නුඹ ම වෙමින් මා ඉදිරියේ මැවූ ජීවිතානන්දය මුසු වී නොමැත. විස්මිත! මේ කාලය ගෙවෙන පමාව මම ඉතා අපහසුවෙන් දරාගන්නෙමි.
***
+ නිකේතලගෙ ගෙදරින් ලබන සතියෙ නැකැත් අරන් එනවා.
-        ඉතින්
+ ඉතින් අහන්නෙ

-        අපිට මේවා බලන් ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ සත්රුවි

+ ඔයාට බලන් ඉන්න පුළුවන් ඇති. මට බැහැ

-        හරි මොකද්ද කරන්න කියන්නෙ දැන්

+ මොකද්ද කරන්න කියන්නෙ? නිකන් බබෙක් වෙන්න හදන්නෙපා විස්මිත

අපි දෙන්නා එකට ජීවත් වෙන්නෙ නැති එක තත්පරයක් ගැන ඔයාට හිතන්න පුළුවන්ද
ඔයාට මේකට විසඳුමක් නැත්නම් මං මැරෙනවා. මට එතනින් එහා ජීවිතයක් නැ. මට නිකේත එක්ක  හීනයක් දකින්න බැහැ

-        හීනයක් දකින්න බැහැ කාටත්. ඔයා හිතනවද marry කරල ඉන්න හැම කෙනෙක්ම තමන් කැමති කෙනා එක්ක ජීවත් වෙන්නෙ කියල. නැහැ. හැමෝගෙම ජීවිත අස්සෙ හංගපු කතාවක් තියනවා. මිනිස්සු පෝරු වල නඟින්නෙ, එකට ජීවත් වෙන්නෙ, පවුලක් හදාගන්නෙ ඒ කතාව හිතින් දරාගෙන. ඒකට තමයි ජීවිතේ කියන්නෙ

+ කාට කාටත් එහෙම වෙන්න ඇති. මට බෑ හිතට එකඟ නැති වැඩ කරන්න. අනික ඔයා කියන්නෙ මට ජීවිතේ එක කතාවක් නෙමෙයි විස්මිත. ඔයා මගේ හුස්ම. මේකෙ හැම අංශුවක් ගානෙම තියෙන්නෙ ඔයාගෙ ආදරේ. ඒක අමතක කරන්න පුළුවන් වත් දරාගන්න පුළුවන් ආදර කතාවක් නෙමේ. මේක ජීවිතයක්. නෑ මේක සංසාරයක්. මට ඕන ආත්මයක් ආත්මයක් ගානෙ තමුසෙගේ ආදරේ ඇතුළෙ පිච්චෙන්න. ඔය පපුව අස්සෙ ගුළි වෙලා ඉන්න.  මං දන්නවා ඔයාටත් එහෙමයි කියල. Please. මාව අරන් යන්න විස්මිත

මම ඒ පපුව මත මුහුණ ඔබා ගනිමින් හැඬූ කාලය කොපමණ දැයි අවබෝධයක් නැත.එය අඩ හෝරාවකට වැඩි මිසක අඩු නැත. ඒ කාලය පුරාවටම ඔහු මා හිස අතගාමින් සිටි බව විරාමයන් කිහිපයක් අතරමැද නළලතට මඳක් ඉහළින් හිස් මුදුන මත පතිත වන දීර්ඝ ම වූ හාදුවකින් මම ප්‍රත්‍යක්ෂ කරගනිමි. ඒ අතරමැද ඔහු එක් වචනයක් හෝ පිට නොකරමින් මට ඇති පමණ හඬන්නට දුන්නේ සියලු තාවකාලික සන්තාපයන් කඳුළු සමඟ ගලා යන්නට ඉඩ දෙමින් ය. එහෙත් අද එසේ ගලාගියේ කඳුළු නොව හදවතම දියාරු වී බව ආත්මය වෙළාගත් හිස් හැඟීම මට සහතික කරන්නට විය.

රුවි
.
.
රුවි
මා නිහඬය.
මේ මොහොත නැවතත් සජීවී කල හැක්කේ හිස ඔසවා ඒ ඇස් දෙස බැලීමෙන් පමණි. ඒ සඳහා මා හට උත්ප්‍රේරකයක් අවශ්‍යය.

+ නැගිටින්න දැන් ඔළුව රිදෙන්න ගන්නවා අඬලා

ඒ වචනයේ නිමාවත් සමඟ ම නලල මත ස්පර්ශ වන හුරුපුරුදු තොල්පෙති වල උණුසුම මම වින්දෙමි. ඒ මා සෙවූ උත්ප්‍රේරණයයි. මම ඒ ඇස් තුළ ගිලෙමි.
-        ජීවිතේ මෙතනින් නවතිනවද විස්මිත

+ නිකේතට ඔයා වචනයක් දුන්නා. ගෙවල් වලින් හැමදේම ලෑස්ති කරල. ඒ හැමදේටමත් වඩා ඌ ඉන්නෙ බලාපොරොත්තුවක් එක්ක. මටත් ඔයාගෙන් එහාට ජීවිතයක් හිතන්න බැහැ රුවි. මමයි ඔයාව හොයාගෙන ආවෙ. ඔයා කඳුලු වලින් පිට කරන ආදරේ මං පපුව අස්සෙ පුපුරු ගගහ හිරකරන් ඉන්නෙ. තේරුම් ගන්න.  අපිට මේ ප්‍රශ්නෙ එක රැයෙන් විසඳන්න බෑ. අපි තව ටිකක් බලමු

-        ඔයා කවද ඉඳන් බලනවද විස්මිත. දැන් වෙන්න ඕන හැමදේම වෙලා ඉවර වෙන්න යන්නෙ. නිකේතට මේක දුකක් වෙයි. හැබැයි marry කරල කෙහෙල් කඳක් වගේ හැඟීමක් දැනීමක් නැති කෙල්ලෙක් එක්ක ජීවත් වෙනවට වඩා මේ ගන්න තීරණය අපි එයාටත් කරන උදව්වක් වෙයි.

-        මේ අහන්න. මේක පවක්. ආත්ම ගානක් විඳවන පවක්. අවුරුදු 8 ක ආදරයක් දාලා ඇවිත් ඔයා ගාව නතර වෙන්න මට තියන හයිය ඔයාට නැත්තෙ ඇයි විස්මිත. ඔයා හොඳ වැඩියි. ඔයා බෝධීසත්වයෙක්. ඔයා ආදරේ මට විතරක් නෙමේ. මේ මුළු ලෝකෙටම. අන්න ඒකයි ඔයා නිකේත ගැන ඔය තරම් worry  වෙන්නෙ. නිකේත දුක් වෙන එක ගැන ඔය තරම් හිතන්නෙ

-        ඔයා වගේ අය මේ ලෝකෙ ඉන්නෙ එක්කෙනයි. ඒ ඔයා විතරමයි. අන්න ඒකමයි මං ඔයාට මේ තරම් ආදරේ. දන්නවද. මේ බලන්න මං දිහා. මං තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල. අපි හීනයක් දකිමු විස්මිත. අන්න ඒ හීනෙට ටිකක් මුරණ්ඩු වෙන්න. හිතුවක්කාර වෙන්න. අපේ ආදරේ වෙනුවෙන්..

-        මේක පාපයක්. මුළු ලෝකෙම අපිට ගරහන ලෝකෙන්ම අපි තනිවෙන වැරැද්දක්.  අපිට මේ පව විඳවන්න වේවි. මං කැමතියි අපි දෙන්නත් එක්කම මේ පාපයට කරගහන්න. අපේ ආදරේ ඇතුළෙ ඉස්සරහට එන හැමදෙම සතුටින් භාරගන්නකොට, ජීවිතේ අළුතින් ලස්සනට ලියවෙද්දි කිසිම බාධාවකට අපිව නවත්න්න බැහැ. ඉතින් මේ පව ගෙවන එක බයවෙන්න ඕන දෙයක් නෙමේ. ආදරේ නැති තැන් දෙකක ජීවිතේ විඳවනවට වඩා ඒ ගෙවන පව අපි ට තව ලස්සනම මතකයක් වෙිවි

-        අහන්න. ජීවිතේ වින්දෙ ඔයා එක්ක. ඔයා තමා මට ජීවිතේ ලස්සන පෙන්නුවෙ.රණ්ඩු කළේ අපි. ආයි යාළු වුණේ අපි. ඔයා ඇහුවෙ මම කියන දේ විතරයි. මම නැවතුණෙත් ඔයා කියන තැන් වලදි විතරයි. අන්න එහෙමයි අපි ජීවිතේ හදාගත්තෙ. ඉතුරු ටිකත් මේ විදියටම මට ඉන්න ඕන ඔයා එක්ක විතරයි.
-        ඒ වගේද. මේ දේවල් මෙතනින් නැවතෙන්න බැහැ. ඔයා මට තව ජීවිතේට අංගසම පිරිමි හිතක් ම නෙමේ. ඔයා සංසාරයක්. දෛවය අපිව පමා වෙලා මුණගස්සල මේ කරපු වැරැද්ද ආයි වෙන්න දෙන්න බැහැ. අපි පුළුවන් තරම් පිං කරන්න ඕන. දන්නවද? ඒකට කියන්නෙ පාරමී පුරනව කියලා.
මඳ සිනාවකින් ඒ මුහුන හැඩ විය

+    හරි පණ්ඩිතයි දැන්

-        තොත්ත බබාලා එක්ක ඉන්නකොට පණ්ඩිත නොවී බෑනේ

+     මේ අහන්න. ඔය හැමදෙම මට තේරෙනවා රුවි. මමයි ඔයා ගාවට ආවෙ. මම පොරොන්දුවක් දුන්නා. කවදාවත් ඔයාව තනි කරන් නෑ කියල. ඒ පොරොන්දුව ඒ විදියමයි. අපිට වැරදෙන් නෑ. අපේ ආදරේ විස්වාස කරන්න. අපි තව ටිකක් බලමු

-        මේක විස්වාස කරාට හරියන ආදරයක් නෙමෙයි විස්මිත. අපි මේ කරන්නෙ වැරැද්දක්. අපි ආස දේවල් අපි ළඟට ඉබේ ඇවිත් පහළ වෙන් නෑ. අපි ඒවා පස්සෙ පන්නන්න ඕන. හති වැටෙනකන්. එතකො..

+    මං ඔයා ගැන ගෙදරට කියන්නම්. නැකැත් අරන් එන වැඩේ ටිකක් පස්සට දාන්න. ඔයාලගෙ ගෙදෙට්ටයි නිකේතටයි මේක කියන්න විදියක් හිතමු.
මා ඔහුව වැළඳගත්තේ ඒ වචන අවසන් වූ විගසම නොවේ. මෙය හීනයක් නොවන බව තහවුරු කරගැනීමට මම තත්පර කිහිපයක් ගත කළෙමි. ඒ, මම මාස කීපයක් පුරා ඔහුගේ මුවින් සෙවූ වචන ය. කොහේදෝ සිට පැමිණ ජීවිතය හීන කන්දරාවකින් පිරවූ මේ පිරිමි ආත්මය සමඟ එක් හීනයක් දකින මොහොත මෙතැන් සිට ආරම්භ වනු ඇත.
නමුත් මේ වසන්තය නොවේ. මේ කාශ්ඨක ගිමිහානයේ සහ දරාගත නොහැකි සීත සමයේ මුසුවකි. වසන්තය වෙනුවෙන් ඒ සියල්ල දරාගැනීමට ඔහු විසින් නිර්මාණය කල මේ ප්‍රේමණීය හිත සූදානම්ය.


-         


Monday, March 12, 2018

ප්‍රේමයේ පැවතීම


+ කුඩේ ගත්තද

- ඔව්

+ පර්ස් එක. සල්ලි?

- හරි 

+ වතුර බෝතලේ 

- නෑ

+ ඇයි ?

-මට වතුර තිබහ එන්නෙ නැ

+ ඒ වුනාට කමක් නැ. වතුර එකක් දාගන්න

- හපෝ හරි හරි වදේ

+ දැන් ඕක හිස් කරල මිසක් ගෙදර ගේන් නෑ. හිතලම වතුර බොන්න ඕන හරිද

-ඇයි නොබිව්වොත් පොලිසියට අල්ලල දෙනවද

+ නෑ. ඊට හපන් වෙන්න ඉඩ තියනවා. ඒ නිසා වතුර නොබී ගෙදර එන්න එපා. කෙලින්ම පොලිසි යන්න

-හරි හරි හපෝ නපුරුකම. නපුරා 

+ ඔව් ඉතින් නැත්නම් රෑට ඔළුව කැක්කුම. හෙට උදේට කලන්තෙ. හෙට හවසට ගැස්ට්‍රයිටිස් 

- ඇති ඇති මේ දාගත්තා. මම යනවා නපුරෝ. ආදරේ නෑ.

+ ආ කමක් නෑ. පරිස්සමට ගිහින් එන්න


පළමුව මේ සිහිනයක් නොවන වග දෙතුන් වරක් දෑස් පිසදා ගනිමින් මම ප්‍රත්‍යක්ෂ කරගනිමි.

දෙවනුව මා මේ ගෙවෙන හැම තත්පරයකටම අතිශයින් ලෝබ කරමි. මේ ප්‍රේමණීය ධාරිතාවය හිත් වලින් වාන් දමනා බව දැන දැන ම තව තවත් ලෝබ කරමි. 


මේ ආදරණීය තරවටු අපේ ආදරය තුළ ඉතා සුලභය. ඒවායේ සීරුවට සැඟවූ ප්‍රේමය මුසු රැකවරණයට මම අවනතය. ඒ ජී‍විතය දැනෙන හරිය ය.

දඩබ්බර ගැහුනු හිතක් අද්දර පිරිමි හිතකට මේ තරම් සංවේදී විය හැකි යැයි මම කිසිදාක විස්වාස නොකලෙමි. නුඹ මා ඉවසනා තරමට මම මමව ඉවසා නැත්තෙමි.නුඹ මා විස්වාස කරනා තරමට මම මා විස්වාස නොකෙලෙමි. අතුරුඵලය විශ්වයේ වාසනාවන්තම ආදරවන්තිය මම බවට පත්වීමය.

ආදරණීය  විස්මිත, මම නුඹට ආදරය නොකරමි. මම ඔබ තුළ ජීවත් වෙමි. ඔබේ ප්‍රේමය මත්තේ ම මියැදෙමි. පපුවට ඇතුල් වෙන මහා බර හුස්මකත්, ඇට මිඳුළු තුළට කිඳා බැසි සියුම් ආදරණීය සංවේදනයකටත් මම ඔබේ ආදරය දැනෙන්නට ඉඩ හරිමි.


මිනිස් හිතකින් තවත් මිනිිස් හිතකට අප්‍රමාණව ප්‍රේම කල හැකි බව මම දැන සිටියෙමි. නමුදු සීතලම හැන්දෑවක නළල මත තැවරෙන හාදුවක බර,පපුවටම තුරුල් කරගෙන හිස අතගාන මොහොතක දි දැනෙන ජීවිතේ ආදරණීය ම  මංමුලාව, එකම එක කෙටි පණිවිඩයක් තුළට කොටු කරන්නේ කෙසේ දැයි, විස්මිත, මම අදත් හෙටත් කවදත් ඔබෙන් ප්‍රශ්න කරමි. ඔබ නිරුත්තරය. ඒ ඔබේ ප්‍රේමයයි.
මම ඒ ප්‍රේමයේ පවතිමි.
ආත්මය අතරමං කර එයින් සැනසී වදාරමි.

"සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ 
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුහුම ආදරේ

ලතාවක් සේ වෙළී සියොළඟ 
පතමි රැකවරණය ඔබෙන්
නෙළා දෝතින් මලක් සේ නුඹ 
වැළදගන්නෙමි හදවතින්..
හදවතින් ...

වලාවක් සේ අයාලේ ගිය 
හිතට නිවහන ඔබ ළඟයි..
මහා කතරක ගෙවූ තනිමග
නිමා කල ඉම ඔබ නෙතයි..
ඔබ නෙතයි..."










Wednesday, February 14, 2018

ඉතින් අද තමයි ඒ දවස.






ඉතින් අද තමයි ඒ දවස.
නුඹ සියුමැලිම හාදුවක් නළල මත තවරාපු


ඒ තමයි,
හැමදාම හවස් වරුවල ඔය නළලතේ තවරන ආදරණීය ම හාදුවට උඹ හංගන් හිටිය උත්තරය..


හැම වෙහෙසකර දවසක්ම ඇරඹුණේ උඹේ නොවරදින ඇමතුමෙන්...
එහෙම දවස් නිම වුණේ හැම හවස් වරුවකම ඔය නළළෙ සිත්තම් කරපු හාදුවකින්


ඒ තමයි ජීවිතේ  ජීවත් වෙනවා කියල කියල දැනුන හරිය.


එතන ඉඳන් ඉතිරිය..ලස්සනම මතකයක්. ආදරේ  ඉතිරුන ඉතිහාසයක්.


නුගේගොඩ අහස යට අපි තියලා ගිය මතක තවම ඒ විදියමයි. ආයෙ කවදාවත්ම ඒ මතක අළුත් වෙන් නැ කියල දැනෙන වේදනාවත් ඒ විදියමයි.


කාලයත් එක්ක දේවල් වෙනස් වෙන්න ගත්ත හැටි හරිම පුදුමයි නේද. අපිට කොයිතරම් වැරදුනාද? අපි කොයිතරම් වැරදි කළාද?


කාලය හැගීම් එක්ක එකතු වෙලා ජීවිතය කොළ ගුළියක් තරමට උණ්ඩි කරලා විසිකරපු දුරක්…


ඉතින් අද නුඹ කොහෙද මං කොහෙද


ඉඳහිටක සිද්ද වෙන හමුවීමක දිත් දැන් අපි කතා කරන්නෙ හරි අඩුවෙන්. මං ආසම වුනේ උඹේ පපුවට ඔළුව තියාගෙන ඉකි ගගහ අඬන්න. ඒ වෙලාවට උඹ කලේ  හෙමීහිට මගේ ඔළුව අතගාපු එක. ඒත් මට ඕන වුණේ උඹත් මං එක්කම  අඬනවා දකින්න. මට දැනුනා උඹ හීනියට ඉහළට අදින හුස්මවල තිබ්බ ඉකිය. මම ඒ කඳුළු හැම එකටම එකක් නෑර ආදරය කලා.


දන්නවද? මට හරිම පාළුයි. දරාගන්න බැරි තරම්. හුස්ම වැටෙන්න තියන එකම නිමිත්ත ඒ කඳුළුවල මතකය විතරයි.


අරමුණු නම් කොයිතරම් තිබ්බද අපිට. ජීවිතේ ගැන කොච්චර හීන දැක්කද? ඔයා ලෝකය ගැන ජීවිතේ ගැන හීන ගොඩක් මවද්දි, ඒ හීන පස්සෙ එක පිම්මට දුවද්දි, මට තාමත් තියෙන්නෙ එකම එක හීනයක්. ඒක හීනයක් වෙන තරමටම අපේ ආදරය හරි පරිස්සම්...


අපිට තිබ්බෙ කාටවත් කියල හිත හදාගන්න පුළුවන් කතන්දර නෙමෙයි. මේ හැම දෙයක්ම අගක් මුලක් නැති අහම්බ. ඉතින් වෙච්ච හැම දෙයක් අන්තිමකදීම හිත හදාගත්තෙ අපි තනියෙන්.


කොල්ලෙක්ට ඉරොටික් කතාවක් එක දිගට ලියන්න අමාරුයි වගේ තමයි, මටත් මේ අකුරු එක දිගට ලියන්න බැහැ. කඳුළු වැක්කිරිලා ඇඟ පිච්චෙන්න ගන්නවා.මං දන්නවා. උඹ දවසක මේ අකුරු කියවන බව. එදාට නුඹ ඒවි කියන අහිංසක බලාපොරොත්තුවත් එක්ක මං හුස්ම ගන්නවා. Park එකේ ගග අයිනට වෙන්න තියන bench එකක ඉඳන් ඉස්සර වගේම පපුවට ඔළුව තියන් මං එදාටත් අඬනවා. උඹ මහා දුකක් හංගන්න හදද්දි පපුවට දරාගන්න බැරුව වැටෙන කඳුළු කැට 2-3 ක රස්නෙ එදාට මං විදිනවා.


දන්නවද, මම නිවන් දකිනවා. සංසාරයෙන් එතෙර වෙන්න  නෙමේ. අපේ ආදරයෙන් මිදෙන්න.  සංසාරෙ පුරා විඳවන මේ ඇබ්බැහියෙන් මිදෙන්න. මමත් බෝධිසත්ත්වයෙක්. අපේ ආදරය නමස්කාර කරපු. මට තිරිසන් ආත්මෙක උනත් ඉපදෙන්න බය නැහැ. ඒත් මට තියෙන්නෙ එතෙන්දිත් උඹට ආදරය කරයි කියන බය.


ඉතින් අද තමයි ඒ දවස. පෙබරවාරි දාහතර....


ආත්මයක් පිස්සු වට්ටපු මතකයක් නළළෙ හරි මැදක සටහන් කරපු….
ඒ මතකයක් ඇතුළෙ ජීවිතය හිරිවට්ටලා නතර කරපු!!

Wednesday, January 3, 2018

නිස්සාර නොවූ සංස්කාර

ජනවාරි 01.

ෆෝන් එක vibrate වෙලා පිපිරෙන තරමට messages ආවෙ අවුරුද්දට සුභ පතලා. ඒ හැම එකකම අඩු වැඩි වුන වචන වලින් ලියලා තිබ්බෙ අවුරුද්ද සුභ වෙන්න කියලා. ඒත් ඒ කිසිම එකකට reply කරන්න තරම් උනන්දුවක් තිබ්බෙ නෑ. ඒ හැමදේකටම වඩා මට ඕන වුණේ ඔයාට message එකකින් සුබ පතන්න.
ඔයාට එවන අළුත් අවුරුදු message එක ගැන මම හිතුවෙ නොවැම්බර් මුල විතර ඉඳන්. ඒක මගෙන් ඔයාට විතරක් එන සුබ පැතුමක් කියල දැනෙන විදියට යවන්නත් ඕන. ඒ වගේම වචන 4-5 ක් ඇතුළෙ මම තවමත් ඔයා ගැන හිතනවා කියල දැනෙන විදියට ලියන්නත් ඕන..

ඇයි message එකක්.

ඔය කටහඬ ඇහෙද්දි ඇහෙද්දි ඇඟ පිච්චිලා හිරිවැටිලා කකුල් දෙක පණ නැති වෙලා යන නිසා මට call එකක් අරන් කතා කරන්න තරම් හිතේ හයියක් නැහැ. ඇත්තටම මට ඒ වේදනාව දරාගන්න පුළුවන්. ඒත් ඇඟෙන් පුපුරු ගගහ එළීයට විසිවෙන ආදරේ දරාගන්න බැහැ. මට හිතෙන්නෙම ඒ ආදරේ ළඟින් අන්තිම හුස්ම බිංදුවත් හංගල තියන්න. ආයි වේදනාවක් නොදැනෙන්නම. ඒත් ඔය හිතෙන් සදහටම ඈත් වෙන්න යනවා කියල දැනෙනකොට එන්නෙ ජීවිතේ ගැන ලෝබකමක්. අළුතින් හුස්මක් අරන් ජීවත් වෙන්න ආසාවක්.
මේ හැමදේම  කිරල මැනල අවුරුද්ද උදාවෙන ජනවාරි පළවෙනිදා හරියමට 12.30 ට විතර මම අසනිට යැව්ව සුබ පැතුම...

Happy new year. අවුරුද්දම ආදරෙන් ඉන්න.tc.bs.
-විස්මිත-


අද ජනවාරි 3.

මට ඕන වුණේ වචන 3ක reply එකක්. “Same to you”. මගේ අවුරුද්ද සුභ වෙන්න තිබ්බෙ අන්න එතන. අද ජනවාරි 03. මම තාම phone එක දිහා තත්පර, මිනිත්තු, පැය ගණන් එක දිගට තාමත් බලාගෙන..

කාලයට පුළුවන් හැමදේම  මුකුත් නොවුන ගානට සීරුවට අමතක කරන්න. ඒත් කාලයට බැහැ පිරිමි හිතක් ඇතුළෙ මුල් බැහැපු ප්‍රේමයක් දශමෙකින් වත් අඩු කරන්න. අන්න එතනයි මට ඔයාව දැනෙන නැන. ඒ එතනමයි, ඔයාට මාව නොදැනෙන තැන.
ආදරේ කියන්නෙත් අන්න ඒකට... හීරෙන්න තරම් වත් පපුවක් ඉතුරු වෙලා නෑ කියල දැනෙද්දිත් තව තවත් ආදරේ කරන එකට.






නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

උනුසුම් හාදුවල් ඇගේ..
සෙනෙහස තාම අපෙ හිතේ..
දකිනා වාරයක පවා..
මගෙ මුළු හිතම ගිණි ගනී….

මන්දාරම් පවන් පොදේ..
තාමත් ඔබේ සුසුම් දැනේ..
මන්දාරම් පවන් පොදේ..
තාමත් ඔබේ සුසුම් දැනේ..

හිත ගැහෙනා.. මේ.. හීතලේ
සැඟවෙන් ඔබගෙ පපුතුරේ…

නිස්සාර සංසාර හීනේ අතීතේ..
ඔබ ඉන්නවා දැනෙනවා..
කවදාක හමුවෙන්න..
දැකගන්න වේදෝ..
තුන්යාමෙ මන් අහනවා..
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා..


ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා..



-චරිත් ගුණරත්න-