Wednesday, January 3, 2018

නිස්සාර නොවූ සංස්කාර

ජනවාරි 01.

ෆෝන් එක vibrate වෙලා පිපිරෙන තරමට messages ආවෙ අවුරුද්දට සුභ පතලා. ඒ හැම එකකම අඩු වැඩි වුන වචන වලින් ලියලා තිබ්බෙ අවුරුද්ද සුභ වෙන්න කියලා. ඒත් ඒ කිසිම එකකට reply කරන්න තරම් උනන්දුවක් තිබ්බෙ නෑ. ඒ හැමදේකටම වඩා මට ඕන වුණේ ඔයාට message එකකින් සුබ පතන්න.
ඔයාට එවන අළුත් අවුරුදු message එක ගැන මම හිතුවෙ නොවැම්බර් මුල විතර ඉඳන්. ඒක මගෙන් ඔයාට විතරක් එන සුබ පැතුමක් කියල දැනෙන විදියට යවන්නත් ඕන. ඒ වගේම වචන 4-5 ක් ඇතුළෙ මම තවමත් ඔයා ගැන හිතනවා කියල දැනෙන විදියට ලියන්නත් ඕන..

ඇයි message එකක්.

ඔය කටහඬ ඇහෙද්දි ඇහෙද්දි ඇඟ පිච්චිලා හිරිවැටිලා කකුල් දෙක පණ නැති වෙලා යන නිසා මට call එකක් අරන් කතා කරන්න තරම් හිතේ හයියක් නැහැ. ඇත්තටම මට ඒ වේදනාව දරාගන්න පුළුවන්. ඒත් ඇඟෙන් පුපුරු ගගහ එළීයට විසිවෙන ආදරේ දරාගන්න බැහැ. මට හිතෙන්නෙම ඒ ආදරේ ළඟින් අන්තිම හුස්ම බිංදුවත් හංගල තියන්න. ආයි වේදනාවක් නොදැනෙන්නම. ඒත් ඔය හිතෙන් සදහටම ඈත් වෙන්න යනවා කියල දැනෙනකොට එන්නෙ ජීවිතේ ගැන ලෝබකමක්. අළුතින් හුස්මක් අරන් ජීවත් වෙන්න ආසාවක්.
මේ හැමදේම  කිරල මැනල අවුරුද්ද උදාවෙන ජනවාරි පළවෙනිදා හරියමට 12.30 ට විතර මම අසනිට යැව්ව සුබ පැතුම...

Happy new year. අවුරුද්දම ආදරෙන් ඉන්න.tc.bs.
-විස්මිත-


අද ජනවාරි 3.

මට ඕන වුණේ වචන 3ක reply එකක්. “Same to you”. මගේ අවුරුද්ද සුභ වෙන්න තිබ්බෙ අන්න එතන. අද ජනවාරි 03. මම තාම phone එක දිහා තත්පර, මිනිත්තු, පැය ගණන් එක දිගට තාමත් බලාගෙන..

කාලයට පුළුවන් හැමදේම  මුකුත් නොවුන ගානට සීරුවට අමතක කරන්න. ඒත් කාලයට බැහැ පිරිමි හිතක් ඇතුළෙ මුල් බැහැපු ප්‍රේමයක් දශමෙකින් වත් අඩු කරන්න. අන්න එතනයි මට ඔයාව දැනෙන නැන. ඒ එතනමයි, ඔයාට මාව නොදැනෙන තැන.
ආදරේ කියන්නෙත් අන්න ඒකට... හීරෙන්න තරම් වත් පපුවක් ඉතුරු වෙලා නෑ කියල දැනෙද්දිත් තව තවත් ආදරේ කරන එකට.






නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන්යාමේ මං අහනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

උනුසුම් හාදුවල් ඇගේ..
සෙනෙහස තාම අපෙ හිතේ..
දකිනා වාරයක පවා..
මගෙ මුළු හිතම ගිණි ගනී….

මන්දාරම් පවන් පොදේ..
තාමත් ඔබේ සුසුම් දැනේ..
මන්දාරම් පවන් පොදේ..
තාමත් ඔබේ සුසුම් දැනේ..

හිත ගැහෙනා.. මේ.. හීතලේ
සැඟවෙන් ඔබගෙ පපුතුරේ…

නිස්සාර සංසාර හීනේ අතීතේ..
ඔබ ඉන්නවා දැනෙනවා..
කවදාක හමුවෙන්න..
දැකගන්න වේදෝ..
තුන්යාමෙ මන් අහනවා..
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා..


ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා..



-චරිත් ගුණරත්න-