Wednesday, February 14, 2018

ඉතින් අද තමයි ඒ දවස.






ඉතින් අද තමයි ඒ දවස.
නුඹ සියුමැලිම හාදුවක් නළල මත තවරාපු


ඒ තමයි,
හැමදාම හවස් වරුවල ඔය නළලතේ තවරන ආදරණීය ම හාදුවට උඹ හංගන් හිටිය උත්තරය..


හැම වෙහෙසකර දවසක්ම ඇරඹුණේ උඹේ නොවරදින ඇමතුමෙන්...
එහෙම දවස් නිම වුණේ හැම හවස් වරුවකම ඔය නළළෙ සිත්තම් කරපු හාදුවකින්


ඒ තමයි ජීවිතේ  ජීවත් වෙනවා කියල කියල දැනුන හරිය.


එතන ඉඳන් ඉතිරිය..ලස්සනම මතකයක්. ආදරේ  ඉතිරුන ඉතිහාසයක්.


නුගේගොඩ අහස යට අපි තියලා ගිය මතක තවම ඒ විදියමයි. ආයෙ කවදාවත්ම ඒ මතක අළුත් වෙන් නැ කියල දැනෙන වේදනාවත් ඒ විදියමයි.


කාලයත් එක්ක දේවල් වෙනස් වෙන්න ගත්ත හැටි හරිම පුදුමයි නේද. අපිට කොයිතරම් වැරදුනාද? අපි කොයිතරම් වැරදි කළාද?


කාලය හැගීම් එක්ක එකතු වෙලා ජීවිතය කොළ ගුළියක් තරමට උණ්ඩි කරලා විසිකරපු දුරක්…


ඉතින් අද නුඹ කොහෙද මං කොහෙද


ඉඳහිටක සිද්ද වෙන හමුවීමක දිත් දැන් අපි කතා කරන්නෙ හරි අඩුවෙන්. මං ආසම වුනේ උඹේ පපුවට ඔළුව තියාගෙන ඉකි ගගහ අඬන්න. ඒ වෙලාවට උඹ කලේ  හෙමීහිට මගේ ඔළුව අතගාපු එක. ඒත් මට ඕන වුණේ උඹත් මං එක්කම  අඬනවා දකින්න. මට දැනුනා උඹ හීනියට ඉහළට අදින හුස්මවල තිබ්බ ඉකිය. මම ඒ කඳුළු හැම එකටම එකක් නෑර ආදරය කලා.


දන්නවද? මට හරිම පාළුයි. දරාගන්න බැරි තරම්. හුස්ම වැටෙන්න තියන එකම නිමිත්ත ඒ කඳුළුවල මතකය විතරයි.


අරමුණු නම් කොයිතරම් තිබ්බද අපිට. ජීවිතේ ගැන කොච්චර හීන දැක්කද? ඔයා ලෝකය ගැන ජීවිතේ ගැන හීන ගොඩක් මවද්දි, ඒ හීන පස්සෙ එක පිම්මට දුවද්දි, මට තාමත් තියෙන්නෙ එකම එක හීනයක්. ඒක හීනයක් වෙන තරමටම අපේ ආදරය හරි පරිස්සම්...


අපිට තිබ්බෙ කාටවත් කියල හිත හදාගන්න පුළුවන් කතන්දර නෙමෙයි. මේ හැම දෙයක්ම අගක් මුලක් නැති අහම්බ. ඉතින් වෙච්ච හැම දෙයක් අන්තිමකදීම හිත හදාගත්තෙ අපි තනියෙන්.


කොල්ලෙක්ට ඉරොටික් කතාවක් එක දිගට ලියන්න අමාරුයි වගේ තමයි, මටත් මේ අකුරු එක දිගට ලියන්න බැහැ. කඳුළු වැක්කිරිලා ඇඟ පිච්චෙන්න ගන්නවා.මං දන්නවා. උඹ දවසක මේ අකුරු කියවන බව. එදාට නුඹ ඒවි කියන අහිංසක බලාපොරොත්තුවත් එක්ක මං හුස්ම ගන්නවා. Park එකේ ගග අයිනට වෙන්න තියන bench එකක ඉඳන් ඉස්සර වගේම පපුවට ඔළුව තියන් මං එදාටත් අඬනවා. උඹ මහා දුකක් හංගන්න හදද්දි පපුවට දරාගන්න බැරුව වැටෙන කඳුළු කැට 2-3 ක රස්නෙ එදාට මං විදිනවා.


දන්නවද, මම නිවන් දකිනවා. සංසාරයෙන් එතෙර වෙන්න  නෙමේ. අපේ ආදරයෙන් මිදෙන්න.  සංසාරෙ පුරා විඳවන මේ ඇබ්බැහියෙන් මිදෙන්න. මමත් බෝධිසත්ත්වයෙක්. අපේ ආදරය නමස්කාර කරපු. මට තිරිසන් ආත්මෙක උනත් ඉපදෙන්න බය නැහැ. ඒත් මට තියෙන්නෙ එතෙන්දිත් උඹට ආදරය කරයි කියන බය.


ඉතින් අද තමයි ඒ දවස. පෙබරවාරි දාහතර....


ආත්මයක් පිස්සු වට්ටපු මතකයක් නළළෙ හරි මැදක සටහන් කරපු….
ඒ මතකයක් ඇතුළෙ ජීවිතය හිරිවට්ටලා නතර කරපු!!