Monday, March 12, 2018

ප්‍රේමයේ පැවතීම


+ කුඩේ ගත්තද

- ඔව්

+ පර්ස් එක. සල්ලි?

- හරි 

+ වතුර බෝතලේ 

- නෑ

+ ඇයි ?

-මට වතුර තිබහ එන්නෙ නැ

+ ඒ වුනාට කමක් නැ. වතුර එකක් දාගන්න

- හපෝ හරි හරි වදේ

+ දැන් ඕක හිස් කරල මිසක් ගෙදර ගේන් නෑ. හිතලම වතුර බොන්න ඕන හරිද

-ඇයි නොබිව්වොත් පොලිසියට අල්ලල දෙනවද

+ නෑ. ඊට හපන් වෙන්න ඉඩ තියනවා. ඒ නිසා වතුර නොබී ගෙදර එන්න එපා. කෙලින්ම පොලිසි යන්න

-හරි හරි හපෝ නපුරුකම. නපුරා 

+ ඔව් ඉතින් නැත්නම් රෑට ඔළුව කැක්කුම. හෙට උදේට කලන්තෙ. හෙට හවසට ගැස්ට්‍රයිටිස් 

- ඇති ඇති මේ දාගත්තා. මම යනවා නපුරෝ. ආදරේ නෑ.

+ ආ කමක් නෑ. පරිස්සමට ගිහින් එන්න


පළමුව මේ සිහිනයක් නොවන වග දෙතුන් වරක් දෑස් පිසදා ගනිමින් මම ප්‍රත්‍යක්ෂ කරගනිමි.

දෙවනුව මා මේ ගෙවෙන හැම තත්පරයකටම අතිශයින් ලෝබ කරමි. මේ ප්‍රේමණීය ධාරිතාවය හිත් වලින් වාන් දමනා බව දැන දැන ම තව තවත් ලෝබ කරමි. 


මේ ආදරණීය තරවටු අපේ ආදරය තුළ ඉතා සුලභය. ඒවායේ සීරුවට සැඟවූ ප්‍රේමය මුසු රැකවරණයට මම අවනතය. ඒ ජී‍විතය දැනෙන හරිය ය.

දඩබ්බර ගැහුනු හිතක් අද්දර පිරිමි හිතකට මේ තරම් සංවේදී විය හැකි යැයි මම කිසිදාක විස්වාස නොකලෙමි. නුඹ මා ඉවසනා තරමට මම මමව ඉවසා නැත්තෙමි.නුඹ මා විස්වාස කරනා තරමට මම මා විස්වාස නොකෙලෙමි. අතුරුඵලය විශ්වයේ වාසනාවන්තම ආදරවන්තිය මම බවට පත්වීමය.

ආදරණීය  විස්මිත, මම නුඹට ආදරය නොකරමි. මම ඔබ තුළ ජීවත් වෙමි. ඔබේ ප්‍රේමය මත්තේ ම මියැදෙමි. පපුවට ඇතුල් වෙන මහා බර හුස්මකත්, ඇට මිඳුළු තුළට කිඳා බැසි සියුම් ආදරණීය සංවේදනයකටත් මම ඔබේ ආදරය දැනෙන්නට ඉඩ හරිමි.


මිනිස් හිතකින් තවත් මිනිිස් හිතකට අප්‍රමාණව ප්‍රේම කල හැකි බව මම දැන සිටියෙමි. නමුදු සීතලම හැන්දෑවක නළල මත තැවරෙන හාදුවක බර,පපුවටම තුරුල් කරගෙන හිස අතගාන මොහොතක දි දැනෙන ජීවිතේ ආදරණීය ම  මංමුලාව, එකම එක කෙටි පණිවිඩයක් තුළට කොටු කරන්නේ කෙසේ දැයි, විස්මිත, මම අදත් හෙටත් කවදත් ඔබෙන් ප්‍රශ්න කරමි. ඔබ නිරුත්තරය. ඒ ඔබේ ප්‍රේමයයි.
මම ඒ ප්‍රේමයේ පවතිමි.
ආත්මය අතරමං කර එයින් සැනසී වදාරමි.

"සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ 
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුහුම ආදරේ

ලතාවක් සේ වෙළී සියොළඟ 
පතමි රැකවරණය ඔබෙන්
නෙළා දෝතින් මලක් සේ නුඹ 
වැළදගන්නෙමි හදවතින්..
හදවතින් ...

වලාවක් සේ අයාලේ ගිය 
හිතට නිවහන ඔබ ළඟයි..
මහා කතරක ගෙවූ තනිමග
නිමා කල ඉම ඔබ නෙතයි..
ඔබ නෙතයි..."