Saturday, January 16, 2021

සාහිත්‍යයේ සිට content දක්වා කාන්තාව

කාන්තාව කියන්නෙ අපේ සමාජ, සංස්කෘතික, සාහිත්‍ය කතිකාවත ඇතුළෙ ඉතාමත් ප්‍රබල සාධකයක්. ඒ කාන්තාවන් අතින් ග්‍රන්ථ රචනා වුන නිසා වත්, කාන්තාවන් සාහිත්‍යවේදීන් වුන නිසා විතරමත් නෙමෙයි. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට කව්සිළුමිණ ලියන්න කලිකල් සරසවි දේවිය ආරාධනා කරන තැන ඉඳන් කෝට්ටේ යුගයේ හය වැනි පරාක්‍රමබාහු රජතුමාගේ දූ කුමරිය වූ උලකුඩය දේවිය තොටලමුවේ රාහුල හාමුදුරුවන්ට කාව්‍යශේඛරය රචනා කරන්න ආරාධනා කරන තැන වෙනකනුත් එතනින් එහා වර්තමානයේ බිහිවෙන සාහිත්‍ය සහ කලා කෘති දක්වාත්, කාන්තාවට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. සමාජයේ විකාශනයත් එක්ක කලාවේ වෙනස්කම් එක්ක කාන්තාව කියන context එක වෙනස් වුණේ කොහොමද? මේ සටහන ඒ ගැන.

කලාව කියන්නෙ මෙතනින් මේ දවසේ ආරම්භ වුනා කියල අපිට නිශ්චිතව කියන්න පුලුවන් දෙයක් නෙමෙයි. ජීවය ආරම්භ වුනේ කොතැනද එතන කලාවක් ඇරඹෙන්න ඇති. ප්‍රේමය, ආදරය, ජීවිතය කියන සංකල්ප ඇතුළෙ මිනිස් ජීවිත ගැන ආත්ම ප්‍රකාශනයක් කලාව තුළින් මතුවෙනවා.

කලාව, සාහිත්‍යය ගැන කතාව පොඩ්ඩකට පැත්තකින් තියල දැන් මං හැරෙන්නෙ Social Analysis එකක් පැත්තට. Generation X, Generation Y, Generation Z කියන්නෙ ලෝකයේ පිළිගත් Audience breakdown එකක්. පුද්ගලයන් ඉපදුන කාල වකවානු පදනම් කරගෙන ඔවුන්ගේ හැසිරීම් සහ අවශ්‍යතා වෙන් වෙන් වශයෙන් ගෙනහැර දක්වන්න මේ theory එකට පුලවන්.

මේ අතරින් Generation Z කියන්නෙ ඉතා වැදගත් සමාජ ස්ථරයක්. රටේ නායකයා තෝරන තැන ඉඳන් සබන් කැටය විකුණගන්න තැන වෙනකන් ආර්ථික විශේෂඥයින්, සමාජ විශ්ලේෂකයන් Generation Z කාණ්ඩයේ සිතුම් පැතුම්, හැසිරීම් ගැන සැළකිළිමත් වෙනවා. මේ cluster එකට ඕනෑම රටක ආර්ථීික, සමාජයීය, සංස්කෘතික, දේශපාලනික සංරචක වලට සෘජු බලපෑමක් එල්ල කරන්න පුළුවන්.

කවුද හරියටම මේ Generation Z කියන්නෙ?

Generation Z කියන්නෙ 1995 න් පස්සෙ ඉපදුන පරම්පරාව. ඔවුන් එළිය දකින්නෙ ම technology අතින් බොහොම පොහොසත් යුගයකට. යන්තම් දැනුම් තේරුම් ඇති වයසෙදි ඔවුන්ට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය, social media එක්ක මුහුවෙන්න අවස්ථාව උදාවෙනවා. ඒ වගේම ඔවුන් දකින ලෝකය හරිම තරගකාරී. ඒ තරගකාරීත්වයට ඔවුන් ස්වාභාවයෙන්ම හුරු වෙනවා. තමන්ගේ ඉලක්ක වලට ඉතා සීඝ්‍රයෙන් ගමන් කරනවා. ව්‍යවසායකත්වය කියන එක ඔවුන්ගේ ඇගේ තියෙන දෙයක්. තමන් කරන දේ ගැන ලෝකයට කියන්න ඒ තුළින් වටිනාකමක් ගොඩනඟාගන්න ඔවුන් කැමතියි. වෙළඳපොළ සම්බන්ධව, අලුත් trends ගැන ඔවුන් දැනුවත් වගේම සෑහෙන updated. ඕනෙම භාණ්ඩයක හෝ සේවාවක මූල්‍යමය වටිනාකම ගැන ඔවුන් සැළකිළිමත්.උදාහරණයක් විදියට Generation X cluster එකේ කෙනෙක් Job එකක් කරන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ income එකක් වගේම ආත්ම තෘප්තියක්. නමුත් අලුත් generation එකට ඒ ගැන තියෙන්නෙ වෙනම කියවීමක්. ඔවුන් බලාපොරොත්තු වෙනවා තමන් කරන කාර්යයට finance පැත්තෙන් ලැබිය යුතු නිවැරදිම වටිනාකම හිමිවෙයි කියලා.  ඒවගේම ඔවුන් ඉතාම සමාජශීලියි.  ජාති ආගම් කුල භේද වගේ දේවල් වලට ඔවුන් සංවේදී නැහැ.

ඇයි අපි මෙතන Generation Z cluster එක ගැන විශේෂයෙන් සඳහන් කරන්නෙ? ඒකට හේතු 2 ක් තියෙනවා. පළමුවැනි කාරණය තමයි මේ කාණ්ඩයේ අවශ්‍යතා, බලාපොරොත්තු, හැසිරීම් රටා ආදිය මත සමාජයේ පැවැත්ම සහ ඉදිරි ගමන තීරණය වීම. අනිත් කාරණය මේ cluster එක කරන කියන දේවල් දිහා අනික් හැම class එකක්ම, generation එකක් ම දෑස් දල්වා බලා සිටීම.

Generation z concept එක සාහිත්‍යය එක්ක මේ විදියට connect කරගන්න පුළුවන්.Gen-z කියන්නෙ රටක අනාගතයක අයිතිකරුවන්. මේ art එක නැත්නම් නූතන කලාව කියන මල් වට්ටියට අතගහන්නෙත් Generation Z කණ්ඩායම. අතීතයේ ඉඳන් පැවත එන තාලයට ම මේක අරන් යනවද? අලුතින් innovations ගේනවද? ඕනෙම නැහැ කියලා අත්හැරලම දානවද? වෙන culture එකක් එක්ක mix කරනවද වගේ නොයෙක් පැති වලට ඔවුන්ට මේ concept එක ගෙනියන්න පුළුවන්.

Technology සහ social media එක්ක ගහට පොත්ත වගේ යාවුන මේ ජීවිත වලින් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් මොන වගේ output එකක්ද?  එතෙන්දි මේ cluster එකේ attention එක අපි සාහිත්‍යය කියල හිතන් ඉන්න පැරණි රසාංග සහ කෘති වලට යොමුවෙන්නෙ නැහැ. ඒ වෙනුවට සිදුවෙන්නෙ ඔවුන් වටා ඇති, ඔවුන් අත්දකින දේවල් එක්ක connect වුන වෙනම ම art එකක් බිහිවීම. මේ art එකට, මේ system එක ඇතුළෙන් ම වචනයක් එනවා content කියලා. Website, blog, social media content ආදී ප්‍රභේද ගණනාවක් ඔස්සේ ඔවුන්ගේ සිතුම් පැතුම් සහ නිර්මාණ content විදියට එළියට එනවා. මෙහි විශේෂත්වය වෙන්නෙ මේ content නිර්මාණය කරන්න තියෙන පහසුව සහ නිදහස. Smartphone එක හරහා කවියක්, කතාවක් අවශ්‍ය නම් නවකතාවක් හෝ නාට්‍ය පිටපතක් වුණත් සකසාගෙන publish කිරීමේ අවස්ථාව මේ generation එකට බොහොම පහසුවෙන්  උදාවෙනවා.

වැදගත්ම කාරණය මේ එළියට එන content වලට ඉතා හොඳ වෙළඳපොළ වටිනාකමක් (Market Value) හිමිවීම. ඒ content වෙනුවෙන් මිළක් සහ ඒවා අලෙවි කරන්න පුළුවන් market එකක්,  process එකක් සහ platforms හැදෙනවා. සරලවම content කියන දේ ලෝකයම පිළිගන්න industry එකක් බවට පත්වෙනවා.

කාන්තාව කියන සාධකය මේ context එක ඇතුළෙ අපි තියන්නෙ කොතනින්ද? 

සාම්ප්‍රදායික  කාන්තාවට වඩා මේ අලුත් පරපුරේ කාන්තාව සමාජය සහ ලෝකය ඉදිරියේ කැපී පෙනෙන්න, නමක් හදාගන්න, brand එකක් වෙන්න දරණ උත්සාහය වැඩියි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කරන tools, social media හරහා නිර්මාණය වෙලා තියෙනවා. සමාජය පිළිගන්නා හෝ නොපිළිගන්නා ක්‍රමයක් තුළින් අදාළ tools සහ platforms යොදාගෙන ඉස්සරහට යන්න ඔවුන් පෙළඹෙනවා. Facebook වගේ Platforms වලින් බැහැර වෙලා Instagram, Snapchat, Whatsapp, Tik-Tok වගේ channels වලට ඔවුන් යොමුවෙනවා.  ඒවා ඇතුළෙ තමන්ගෙම අනන්‍යතාවයක්, අදහස් පළ කිරීමේ රටාවක් නිර්මාණය කරගන්න ඔවුන් සමත්වෙනවා. තමන්ගේ දක්ෂතාවයක් හැකියාවක් ජයග්‍රහණයක් ඔවුන් නිර්මාණශීලීව මේ කියන social media හරහා promote කරනවා. සමාජයෙන් වෙන් වෙලා හැංගිලා කොන්වෙලා හිටිය කාන්තාව වෙනුවට සෑහෙන forward female role එකක් social media හරහා ලෝකයට එළිය දකිනවා.

මෙහි ඊළඟ පියවර විදියට ඔවුන් උත්සාහ කරන්නේ influencer කෙනෙක් වෙන්න. ඒ කියන්නෙ සමාජයට යම් බලපෑමක් එල්ල කල හැකි චරිතයක්. ඔවුන් ගොඩනඟාගත් අනන්‍යතාවයට අනුකූලව Influencer කෙනෙක් වෙන්න නිර්මාණය වෙනවා. මේ චරිතය වටා Audience එකක්, fan base එකක් නිර්මාණය වෙද්දි, තමන් ගොඩනඟාපු image එක build up කරන්න සහ පවත්වාගෙන යන්න ඔවුන් නොයෙකුත් දේ සිදුකරනවා. නිර්මාණශීලිත්වය, නිර්මාණයේ ගුණාත්මක භාවයට වඩා numbers පස්සෙ හඹායන brand එකක් කාන්තාව පත්වෙනවා. Likes, comments සහ followers වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන්නෙ මෙන්න මේ වගේ වටපිටාවක් ඇතුළෙ.

මේ system එකත් එක්ක Generation Z cluster එකට ගොඩක් දේවල් මඟහැරෙනවා. විශේෂයෙන් ම අපේකම, සංස්කෘතිය, සදාචාරය වගේ limits ගේමක් නැතුවම අමතක කරනවා.මොනවද මුත්තේ ඔතන කරන්නේ වගේ ගීත itunes වල නැති නිසා ඔවුන්ට ඇහෙන් නෑ. සිරිත් මල්දම කියන්නෙ band එකක්ද, ලංකාවට නිදහස ලැබුණෙ 1964 වගේ කතන්දර gen-z එකෙන් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒවාට බාහිර සමාජයෙන් ලැබෙන return එක ඉතාම දරුණුයි. 

දශකයකට කලින් පොතකට, ගීතයකට, නාට්‍යයකට සීමා වුන කලාව හා සාහිත්‍යය වෙළඳපොළක් සහිත Industry එකක් බවට පත්වුණේ මේ විදියට. මේ කියන සමාජයීය, සංස්කෘතික, තාක්ෂණික හැලහැප්පීම් එක්ක අපේ පැරණී සාහිත්‍යය පිරිහෙයි ද?

එහෙම වෙන්න තියන ඉඩකඩ ඉතාම සීමිතයි. නමුත් ඒ හරහා සිදුවන බලපෑම අපිට මේ විදියට පැහැදිලි කරගන්න පුළුවන්. Product එකකට market එකකට ලඝු වුන Generation Z ජීවිත වලින් අපිට ලෝකය ගැන සමාජය ගැන කියවීමක් අපේක්ෂා කරන්න බැහැ. ඒ පරපුරෙන් එළියට එන Output එක සැකසිලා තියෙන්නෙ ඔවුන්ට ලැබෙන වෙළඳපොළ වටිනාකම මත.

අනිත් බරපතල කාරණය මේ set-up එක හරහා ඔවුන්ගේ thinking capacity එකට කරන බලපෑම. ශ්‍රේෂ්ඨ නිර්මාණයක් පදනම් වෙන්නෙ එම නිර්මාණ ශිල්පියා කොයිතරම් නිදහස්ව තමන්ගේ fantasy එක ඇතුළෙ රස්තියාදු වෙනවාද කියන කාරණය මත. J.K Rowling, සයිමන් නවගත්තේතම කියන්නෙ එයට හොඳම උදාහරණ. මේ වගේ Marketing theory එකකට අනුගත වුන පරම්පරාවකින් අපිට ඒ වගේ නිදහස් චින්තනයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ නිසා ලක්ෂ ගණනින් සයිබර් අවකාශයට content එකතු වුණාට අපි හිතින් ආදරය කල, අපේ fantasy වල වීරයෝ වුන, නොරිකෝ සං, ඇනා සර්දෙව්නා, අල්තීනායි වගේ චරිත අනාගතයේදී මේ set-up එක ඇතුළෙන් බිහිවෙන එකක් නැහැ. යුග ගණනාවක් හදවත් ආදරයෙන් ප්‍රේමයෙන් මුසපත් කල ඒ කතන්දර සහ චරිත වලට අපේ හිත්වල වෙන්වෙන ඉඩ, blog එකකට,  Tik-Tok video එකකට,  Instagram post එකකට වෙන්වෙන එකක් නැහැ.

සුජීව ප්‍රසන්නආරච්චිගේ නවකතාවක් කියවලා, TV එකේ ටෙලියක් බලලා, සතිඅන්ත පත්තරේට කවියක් නිසඳැසක් ලියපු කාන්තාව කියන චරිතය අද වන විට කොයිතරම් වෙනස්කම් වලට ලක් වෙලාද කියන එක පැහැදිලියි. තාක්ෂණය එක්ක ම වෙනස් වුණ Lifestyle ඇතුළෙ හැදෙන මේ වගේ trends අපි බැහැර කරන්න හොඳ නැහැ. අප කළ යුත්තේ හැමදෙයක් දිහා ම neutral විදියට බලලා උසස් රසවින්දනයක් ලැබිය හැකි නිර්මාණ accept කිරීම සහ ඒවා සමාජය තුළට ගෙනයාම. විවේචන , විචාර, ප්‍රශංසා හැමදෙයක්ම එක්ක යන ඒ ගමන බොහොම සුන්දර වේවි. අපි බලාපොරොත්තු දල්වා බලා සිටිමු.

 

චරිත් ගුණරත්න

සංස්කෘතික කටයුතු  දෙපාර්තමේන්තුව විසින් පළකරන ලද සදෙස සඟරාවේ පළකරන ලද ලිපියකි.