Sunday, December 6, 2015

බස් යට ආලය....


බුකියේ වන බස් රථ පෙළක් යට පෙම් කරන තරුණ යුවළ කිහිපයකගේ සේයාරුවක් හා මෙම සටහන සබැඳිය. ඒ වෙත දසදෙසින් එල්ල වන විවේචන, ගැරහුම් බොහෝය. ඒ සියල්ල ඔවුන් වෙත දිශානතිගත කිරීමට පෙර ඔවුනට බස් රථයක අධෝ පෙදෙසට මුවා වී පෙම් කරන්නට හේතු වූ කරුණු විශ්ලේෂණය කිරීම අගනේ යැයි සිතමි.

සංවර්ධනයේ පමණක් නොව මානව චින්තනයෙන්ද තුන්වන ලෙවලයේ (බොහෝ විට ඊටත් පහළ මට්ටමක) සිටිනා ශ්‍රී ලංකාවට ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය යන මෙව්වා හරිම මැජික්ය. එවන් වාතාවරණයක් තුළ මෙකී කපල්, ප්‍රේමයෙන් වෙළී සිටීම කෙසේ වෙතත් ඔවුනොවුන් බස් රථ පාමුල නොව වෙනයම් ස්ථානයක කතාබහ කරමින් සිටියේ නම් ඔවුන් පහත සඳහන් තත්ත්වයන්ට මුහුණ දෙනු ඇත.
බස් නැවතුමක දුම්රිය නැවතුමක නම් දෙනෝදාහකගේ ඇස් ඔවුනට යොමුවන අතර තැනක් නොතැනක් දන් නැතුව love කරන්න යන කාලකණ්නි. මුන්ගේ දෙමාපියො මේවට වගකියන්න ඕන”. දකින අය නොදකින අයටද මෙම පෙම්වතුන් පෙන්වමින් ඉහත වාග් ප්‍රහාරයන්ගෙන් ඔවුනට සංග්‍රහ කරති.
බස්රථයක් තුළ නම් තනිකන්දෝසයෙන් හා ඉරිසියාවෙන් පුපුරන අම්මණ්ඩිලා seat එකක් ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනා පෙරදැරිව, බස් රථය දෙවනත් කරමින් නඟන දෙස් දෙවොල් චෝදනා අපවාද අසන්නට වනු ඇත.
Bench එකක් නම් ගල් පැලෙන බේගල් ඇද බාන සාස්තරකරුවන් හා තක්කඩි තොරොම්බෝල හා කඩල කරුවන්ගේ නොනවතින කරච්චලයෙන් පීඩා විඳීමට ඉහත පෙම්වතුන්ට සිදුවනු ඇත.
Park එකක් නම් විසිල් ගසමින් සැරිසරන සිකුරුටි කාරයන්, පෙම්වතුන් බල්ලන් මෙන් එළවන්නට වු කල දුවන්නට සැරසී සිටිය යුතුය.
පන්සලක් නම්, පන්සලක ඇවිල්ලත් හැසිරෙන්න දන් නැති වලත්තයෝ යැයි, එහි නිති යනෙන සැදැහැවත් සුපේශල දෑ හිතකාමී බෝසත් උපාසක උපාසිකාවන්ගෙන්  කන් පිරෙන්නට අසා ගැනීමට සූදානම් වී සිටිය යුතුය.
මේ සියල්ලෙන් වසන් වී room එකක් අස්සට රිංගුවේ නම්, කාමරය විවෘත කර දෙන කොලුවාගේ phone එකේ කැමරාවේ, කාමරය තුළ සිදුවන දෑ සටහන් වනු ඇත.
මෙය කිසිසේත්ම පොදු ස්ථානවල අසෝබන ලෙස හැසිරීම සාධාරණීකරණය කිරීමට යෑමක් නොවේ. නමුත් තරුණයාට නිසි පිළිගැනීම සහ නිදහස නොලැබෙනා තාක් මේ ආකාරයේ හිත හිරිවට්ටන දර්ශන අප හට නරඹන්නට සිදුවනු ඇත

මේ සියලු තත්ත්වයන් යටතේ පෙම් කිරීම උදෙසා ගැට්ටකින් ඉදිරියට නෙරා ආ බස් රථයක අධෝ පෙදෙස තෝරාගැනීම පුදුමයට කාරණයක් නොවේ. ටියුෂන් මුදල මාටියා ගසා පෙම්වතා පෙම්වතී හමුවන්නට යන අපේ කාලයේ තාරුණ්‍යයට KFC, Barista, McDonalds යන්නට අතේ පිච්චියක් නැත. සමාජය විසින් ඔවුන් ඒ තත්ත්වයට ඇද දමා තාරුණ්‍යයට නිගා කර තරුණ සිතුවිලි වල්මත් කර එම සමාජයම ඔවුන්ව විවේචනය කිරීම පිළිබඳව අප මහත් කණගාටුවට පත්විය යුතුය. මෙය උඩබලාගෙන කෙළ ගැසීමක් බව වටහා ගැනීමටත්, එම කෙළ බිඳිති තම මුහුණත් තහඩුව මත පතිත වන බව තේරුම් ගැනීමටත් සබුද්ධික හුදී ජනයාට චිරාත් කාලයක් ගතවනු ඇත. 

-චරිත් ගුණරත්න-

Friday, April 10, 2015

රතුපාට හීන

නයනි -  අනේ ඇටකටු කුඩු වෙයි මගේ. ඔච්චර හයියෙන් මිරිකලා.

මිනුර-   මට මොකෝ. මට නම් ගාණක් වත් නෑ.

නයනි-  ගාණක්වත් නැතුව ඇටකටු ටික කුඩු කරලා දාන්න පුඵවන්ද ?

මිනුර-   ඔව්. ඒ තරමටම මං ආදරෙයි.

නයනි-  ඇත්තමද ඔය කියන්නේ.

මිනුර-   ඇයි අවිශ්වාසද මාව ?

නයනි-  ඔයාව අවිශ්වාස නැහැ. ඒත් මේ හැමදේම හීනයක් වගේ.

මිනුර-   ගොඩක් කල් ඉදන් දැකපු හීනයක්ද ? එකපාරට හැබෑ වුණ හීනයක්ද ?

නයනි-  හිතා ගන්නත් බැරි කාලෙක ඉදන් දැකපු හීනයක්.

මිනුර-   ඒ කිව්වේ.

නයනි-  කලින් ඉපදුණු හැම පාරකදීම මේ හීනෙ හැබෑ වෙන්න කියලා පෙරුම් පුරාගෙන ඉන්න ඇති. ඒත් ඒ                  කිසියම පාරකදිවත්, ඉපදුණු කොයි ආත්මෙකදිවත් මං හිතන්නෙ මේ හීනෙ හැබෑ වුණේ නෑ.

මිනුර-   එහෙනම් මේ පාර හරි ගියෙ.??

නයනි-  ඒ හැම පාරකදිම වෙන හීන දකින්නෙ නැතුව මේ හීනේ ගැනම විතරක් හිතපු නිසා වෙන්න ඇති.

මිනුර -   මට නම් දැනෙනවා ඔයාව කොහේදි හරි හම්බවෙලා පුරුදුයි වගේ. හරිම හුරුපුරුදු ගතියක්  
              දැනෙනවා.

නයනි-  මට නම් පොඩ්ඩක්වත් නෑ.
             ජීවිතෙ ලස්සනම කාලෙකදි, තවත් ලස්සන කරන්න ආපු ලස්සන හීනයක්.



මිනුර-   එහෙම ලස්සනම ලස්සන හීන එකපාරටම ජීවිතේට එන් නෑනේ. ඔයා නෑ කිව්වට කොතනදි හරි                      හම්බවෙලා ඇති.

නයනි-  ඔව්. මූණට මූණ හම්බවෙලා ඇති. කතාබහ කරලත් ඇති. ඒත් අපිට අපිව දැනෙන්න තරම්....මං හිතන්              නෑ.
            දැන් පුඵවන්ද අත ටිකක් බුරුල් කරන්න.

නයනි -  බැහැ. තව හයියෙන් අල්ලන් ඉන්නේ . ඔයාට රිදුනට මට කරන්න දෙයක් නෑ.

මිනුර-   හීන හැබෑ වුණාට නපුරුකම ගිහින් නෑ වගේ.

නයනි -  මේකට කියන්නෙ ආදරණීය නපුරුකම. දැන් ඔයා මගේ ලෝකෙම හින්දා මට මේ ලෝකෙ කිසිම                     දේකින් වැඩක් නෑ. මට හිතෙන්නෙ මං තරම් කෙල්ලෙක් දැන් ලෝකේ නෑ කියලා. දන්නවද. මං                     දැන් queen කෙනෙක් වගේ.

මිනුර -   ඉතින් ඔයා queen වුණා කියල මට රිද්දලා හරියනවද?

නයනි -  ඔව්. ඔයාටත් මං ලොකු ීැැබ ටිකක් දානවා. ඔයා මගේ king නෙ.

මිනුර -   එතකොට මං රාජ්‍ය  බලය පාවිච්චි කරල අන්තඃපුරයෙන් රජ බිසවක් ළගට යනවා.

නයනි -  ඒ සෙල්ලම් දාන්න බෑ දේවයන් වහන්ස. මේ කුමාරිකාව සම`ග. හීනෙන් තමයි. ආ. නෑ. හීනෙන් වත්               බැහැ. ඔයාගෙ හැම හීනෙකවත් ඉන්න. කවුද ? මං විතරයි.

මිනුර -   හ්ම්ම්ම්.. රතුපාටයි නේද අහසම.

නයනි -  අහස විතරද? මේ. අපිත් රතු පාට වෙලා.

මිනුර -   ඔයා දන්නවද? මේ වගේ රතු පාට අහසක් යට, රතු පාට හැන්දෑවක ජීවිතේ බෙදාගන්න කෙනෙක්                   එක්ක ඉන්න මාත් හීනයක් දැක්කා.

නයනි -  ආ... මේ තියෙන්නෙ ඒ හීනෙ.

මිනුර -   ජීවිතේ බෙදාගන්න වුණාට හැමදාම මේ හීනෙ ඇතුළෙ ඉන්න පුඵවන් වෙයිද?

නයනි -  ජීවිතේ කෙළවරක් ආපු දවසට හුස්ම ටික ගිහින් මැරිල යයි. ඒත් හීනෙ ඒ විදියට තියෙයි. හැමදාකම.




මිනුර -   හැමදාකම තිබ්බයි කියල කවුද ඒ හීනෙ දකින්නෙ? ඒක ඇතුලෙ හුස්ම ගන්නෙ? අපි හුස්ම ගන්නෙ                   නැත්නම්. අපි මැරිල නම්.

නයනි -  ඉවර වෙන්නෙ ජීවිතේ විතරනෙ. ආදරේ ඉවරයක් වෙන්නෙ නැහැ.

අනවරථව ගතට දැනුණු කම්පනයෙන් මිනුරගේ හිස කොට්ටයට අඟල් 2 ක් පමණ ඉහළට එසවී නැවත පතිත විය. එම කම්පනය එතරම්ම තීව‍්‍ර වුයේ ඔහුගේ මනසද අතිශය චංචල සිතුවිලි සමුදායක වෙළී තිබු නිසාවෙන් විය හැකිය. ප‍්‍රථමයෙන් දැනුණු කම්පනය ඔහුගේ ජංගම දුරකථනය බවට ඔහුට හැගී ගියේය. එය තවමත් නාද වන අතර ඇමතුම පැමිණෙන්නේ mobitel ring tone සේවාව වෙතින් ”මඟ බලා හඬන දෙනෙතේ” ගීතය ringtone ලෙස සකස් කරගන්නා අයුරු දැනුම් දීමට බව ඔහු නිදිමතින් යුතුව වුවද වටහා ගත්තේය. ඒ මීට පෙර කිහිපවතාවක්ම එම අංකයෙන් මෙම කරදරකාරී ඇමතුම පැමිණි බැවිනි. ඔහු ඇමතුම විසන්ධි කල අතර ඔහුට පැමිණි කෙටි පණිවිඩ කියවන්නට ගත්තේය. 40404 ක් පැමිණි පණිවිඩයක සටහන් වුයේ මහපොළ කප්පාදුවට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයකත් පිලිබඳවය. තවත් පණිවිඩයක සටහන් වුයේ assignment submit කලයුතු අවසන් දිනය හෙට බවය. 32665 තුළින් පැමිණි fb notification 1 ක් තුළ සඳහන් වුයේ පෙරදින රාති‍්‍රයේ තම රූමාගේ මල් බකට් එක සහ කොකු පාටිය අතරතුර ගත් ඡායාරූප කිහිපයකට මිනුර tag වී ඇති බවය.

මේ සියල්ල කියවීමෙන් පසු ඔහු මීට සුඵ මොහොතකට පෙර නිමග්නව සිටි සිහිනය සිහිපත් කළේය. එහෙත් එහි එකදු සිදුවීමක් වත් නිසි සේ මතකයට නඟා ගැනීමට මිනුරට නොහැකි විය. නැවතත් ඔහු දෑස් පියා ගත්තේය.


Friday, February 13, 2015

එන්න... ආදරවන්තයින්ගේ දිනය සමරන්න....

වැලන්ටයින් දිනය උදෙසාම වන මෙම සටහන අවසන් කරන තුරුම පෑන කකියයි. වැලන්ටයින් කෙසේ වුවත් පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය ලෙස නම් කිරීමට කැමැත්තෙමු. එහෙත් වැලන්ටයින් සාමිවරයා නැමති ක්‍රිස්තියානි ආගමික මූලාශ්‍රය පදනම් කරගෙන සමාජගත වූ මෙම සංකල්පය වර්තමානයේ ආගමික පදනමෙන් ඔබ්බට වර්තනය වී ඇත.

                කවුරුන් කෙසේ කුමක් කීවත් ආදරවන්තයින්ට දිනයක් තිබීම ගැන අපි ආඩම්බර විය යුතුයි. පශ්චාත් නූතනවාදීන්ගේ අදහස නම් ආදරවන්තයින්ට එක දිනයක් අවශ්‍ය නැති බවයි. සෑම දිනයක්ම ආදරය කළ යුතු දින බවයි. නමුත් ලෝක ළමා දිනයක් ඇත. වැඩිහිටි, ගුරු, පරිසර, ජල, ඒඞ්ස්, අම්මාවරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය, නිදහස, අලූත් අවුරුදු, තැලසිමියා නිවාරණ, දියවැඩියා නිවාරණ, තරුණ ආදී එකී මෙකී නොකී අරමුණු රාශියක් සඳහා දින ගණනාවක් ඇත. මෙම දින වලට කිසිවෙක් කිසිවක් කියන්නේ නැත. නමුත් පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ගැරහුම් විවේචන අපමණය.




ආදරය නොදැනෙන කෙනෙක් ලොව තුළ නැත. විලියම් කුමරු කේට් ට පේ‍්‍රම කළේය, සාලිය අශෝකමාලාට පේ‍්‍රම කළේය. කුස රජු පබාවතීට පේ‍්‍රම කළේය. වික්ටර් හියුගෝගේ ආදර එස්මරෙල්ඩා හි අවලස්සන කුදා, එස්මරෙල්ඩාට පේ‍්‍රම කළේය. උසක්, මහතක්, පැලැන්තියක්, තරාතිරමක් නොබලා ආදරය මිනිස් සිත් තුළ ලියලා වැඩුණි, නව යොවුන් වියෙන් හද තිඹිරිගෙයි ඉපිද ජිවන ගමනේ අවසානය පුරාවට විරුද්ධ ලිංගිකයන්ට පේ‍්‍රම කිරීමට මිනිසුන් හුරුවී සිටියහ. ඒ තුළ ආදරණීය මතකයන්ගෙන් අලංකෘත වූ සුන්දර පේ‍්‍රම කතාවක හිමිකාරීත්වය දැරීමට මිනිසා කොන්දේසි විරහිතව ආශා කළේය. කිසිදා වචනයෙන් විස්තර කල නොහැකි පේ‍්‍රමණීය සිතුවිල්ල සිරුරේ සියුම් කේෂනාලිකාව ද කම්පනය කරන කල්හි, ඒ තුළ තම ජීවිත මාත‍්‍රාව උත්කර්ෂය කිරීමට මිනිසා අසීමිත ආශාවක් දැක්වූහ. කෙනෙක් ආදරය විඳිද්දී තවත් කෙනෙක් ආදරයේ වියෝගයෙන් සන්තාපයට පත්විය. එම කුලකයේ අය ආදරයේ පරාජය දරාගත නොහැකිව ජීවිත වලින් ද පරාජය විය. තවත් කොටසක් වියෝගයේ පරමානන්දය වින්දනය කොට සොඳුරු ස්වයං තෘප්තියක් ඒ හරහා වින්දනය කළහ. එකී මෙකී නොකී කෝටි ප‍්‍රකෝටි ගනන් ආදර කතා බිහිවිය.

               
  මේ කතාව ඒ ආදර කතා ගැන නොවේ. ආදරවන්තයන්ගේ දිනය පිළිබඳවයි. විශ්වයේ ආනන්දණීය බැඳීමක සාඩම්බර උරුමකරුවන් හට ආදරවන්තයන්ගේ දිනය මහේශාඛ්‍ය මංගල්‍යයක් වැනිය. ආදරයේ විරහවෙන් සංතෘප්ත කොට්ඨාශය, මේ දිනය තුළ තම අහිමි වූ ආදරය පිළිබඳ සිංහාවලෝකනය කරති. නැතහොත් ගිලිහුණු ආදරයේ හත්මුතු පරම්පරාවම සිහිපත් කොට ඔවුනට වෛරකරති. නමුත් වර්තමානයේ ආදරවන්තයන්ගේ දිනය අතිශයින් දූෂණයට සහ අතවරයට පත්ව ඇත. ඒ පිටකොටුවේ පදික වෙළඳුන්, lovers වෙළඳසැල් හිමිකරුවන්, පෞද්ගලික මාධ්‍ය තුළින් මෙන්ම මේ රටේ ප‍්‍රබුද්ධ චින්තනධාරී අධිමානසික සමාජ විද්වතුන්ගේ මතවලිනි. ඔවුන්ට අනුකූලව පහත හේතු නිසා ආදරවන්තයන්ගේ දිනය අපිට ඔබින්නේ නැත.
1          ශ‍්‍රී ලංකාවට ආවේණික දිනයක් නොවීම (වැලන්ටයින් ශ‍්‍රී ලාංකිකයෙක් නොවීම)
2          ආදරය එක් දිනකට සීමා නොවිය යුතු වීම.
3          Fm, TV, channel විසින් marketing strategy  1 ක් ලෙස මෙම දිනය භාවිතා කිරීම.

මෙම පොදුවේ ඇසෙන හේතුවලට අමතරව තව තවත් සුළු සුළු හේතු කාරණා සහ සාධක ද ඇත.
                                මෙය ශ‍්‍රී ලංකාවට ආවේණික දිනයක් නොවේ. එම තර්කය සත්‍යය.  නමුත් විවෘත ආර්ථිකයේ මහිමයෙන් විශ්ව ගම්මානයේ තවත් එක් අනු පරිච්ඡේදයක් වූ අප 100% ස්වදේශික ජනතාවාදයක් ද යන වග මෙහිදී මතුවෙන ප‍්‍රශ්නයයි. ලංකාවේ පැවති ජනාවාස ක‍්‍රමය ආරම්භ කර ඉතිහාසය ලියවෙන්නට ගත්තේ ඉන්දියාවේ සිට පැමිණි පල් හොරෙක් වූ විජය සහ ඔහුගේ අනුගාමී කුපාඩි රැළ තම්බපන්නියට ගොඩබැසීමෙන් අනතුරුය. ඉන්දියාවේ ඔවුන් නවතා ගැනීමට නොහැකි කළ විජයගේ පියා විජය ඇතුළු 700 ක් පිරිස නැවකට නග්ගවා පා කර හැරියේය. ඔහු අහම්බෙන් මෙහි ගොඩබට අතර කුවේණියගේ සහයෝගය ද සහිතව ලංකාව ජනාවාස කළහ. ඒ සැණෙකින්ම අපට රාවණා රජුගේ ඉතිහාසය අමතක විය. ලංකාවේ මුල්ම රජු විජය විය. අනතුරුව ඓතිහාසික ජාත්‍යන්තර බලපෑමක් වූ මහින්දාගමනය තුළින් අපට බුදුදහම හා බැඳුණු සංස්කෘතියක් උරුම විය. මේ අයුරින් ඉතිහාසය විකාශනය වෙද්දී 1977 විවෘත ආර්ථිකය මෙරටට ආක‍්‍රමණය කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලෝකය පුරා ඇති හොඳ නරක සියල්ල මේ තුළට අසීමාන්තිකව ගලා එන්නට විය.
                                අපි 100% ස්වදේශික, ශ‍්‍රී ලාංකික වීමට නම් ජනවාරි 1 යනු අවුරුද්දේ උදාව නොවේ. සිංහල ක‍්‍රමය අලූත් අවුරුද්ද අපේ‍්‍රල් මාසයෙහිය. නමුත් ජනවාරි 1 දා අපි කිරිබත් කන්නෙමු. කිරි උතුරවන්නෙමු. විජාතික යැයි කියා අපි එය ප‍්‍රතික්‍ෂේප කළේ නැත. දැන් නගන තර්කය නම් ආදරවන්තයන්ගේ දිනය යනු අයහපත් අසම්මත සැමරුමක් බවයි. ආදරය කිරීම තුළ ඇති අයහපත කුමක් ද? යන ප‍්‍රශ්නය සින්තටික් ප‍්‍රබුද්ධවාදීන්ගෙන් අපි පෙරළා විමසමු. ලෝකයේ ඇතිවී ඇති සියලූ අර්බුදවලට හේතුව ආදරය, පේ‍්‍රමය වැනි ගැඟීම් මිනිස් සිත්වලින් ඈත්වීම බව අපි තරයේ විශ්වාස කරමු. එවන් ආදරය ගැන කතා කළ යුතු දිනක ආදරය කරන පිරිස් ද විවේචනය කරමින් කටයුතු කිරීම සැබවින්ම අශෝබනය.
                                පෙබරවාර් 14 අපේ නොවුණට කම් නැත. වැලන්ටයින් සිංහල බෞද්ධ නොවුනට ද කම් නැත. ආදරය කරන අයට ආදරයේ සුවිශේෂිතාවයක් අත්විඳින්නට මේ දිනය වෙන් කරමු. පෙම්වතියට chocolate  1 ක් valentine card 1 ක් දී ඇයව සතුටු කරන්නට ඇත්නම් ඒ ඔවුන්ගේ ලෝකයේ සතුටයි. ඊට ඇඟිල්ලෙන් ඇණ විවේචනය කිරීමට බාහිර ප‍්‍රබුද්ධවාදීන්ට අයිතියක් නැත.
                                ආදරය එක් දිනකට සීමා විය යුතු නැත. නමුත් වැලන්ටයින් සැමරීම යනු ආදරය එක් දිනකට සීමා කිරිම නොවේ. Present  1 ක්,card 1 ක්,cake  1 ක්, chocolate 1 ක් පෙම්වතියට / පෙම්වතාට ලබාදීම සෑම දිනකම සිදු කළ නොහැක. තුන්වන ලෝකයේ රටක මධ්‍යම ප‍්‍රාන්තික පෙම්වතුන්ට එය කිසි සේත් දරාගත නොහැක. එහෙත් ජනවාරි 1 දා සිට මුදල් එකතු කර පෙබරවාරි 13  present 1 ක් මිලදී ගෙන පෙබරවාරි 14 එම present 1  තුළින් පෙම්වතිය පේ‍්‍රමාන්විත විස්මයකට කැඳවා යාම තුළ නිර්ව්‍යාජ පේ‍්‍රමයක් ගැබ්ව ඇත. එම රමණීය වූ පේ‍්‍රම හැඟුමන් සිත් තුළ මෝදුවන්නට තැනූ වේදිකාවක් බවට පෙබරවාරි 14 පත්වන්නේ එම නිසාවෙනි.
                මීළඟ තර්කය marketing තර්කයයි. මේ ලෝකයේ නොවිකිණෙන දෙයක් නැත. භාණ්ඩ හුවමාරු අර්ථ ක‍්‍රමයක සිට ධනේශ්වරයට පරිවර්තනය වූ අපි marketing අමතක කිරීම යනු සුපිරිම ගොන්පාට් එකකි. කිරි දොවන එළදෙන විකුණති. මව් කිරි දෙන අම්මා විකුණති. අම්මාගේ ආදරය විකුණති. ඉතිහාසය විකුණති. සංගීතය විකුණති. මිනිස් ජීවිත විකුණති. ආදරය විකුණති. පේ‍්‍රමය විකුණති. ආදරවන්තයන්ගේ දිනය ද විකුණති. මෙම විකිණීමෙන් තොරව ලොව පැවැත්මක් නැත. මේ ජීවන අරගලය තුළ අපි නොදැනුවත්වම කොහාට හෝ කාව හෝ විකිණී හමාරය. මෙරට ප‍්‍රබුද්ධයන් සරම් ඇඳ, ඔලුවෙන් හිටගෙන කෑ ගැහුව ද ජාත්‍යන්තරව ආදරවන්තයන්ගේ දිනය market වෙති. එය වෙනස් කිරීම උගහටය. marketing වන තැනට marketing වෙන්න දී ආදරවන්තයන්ගේ දිනය සැමරීම ගෙන්දගම් පොළොවේ පය ගැසූ ඔබට භාරය.
                මේ ගැඹුරු චින්තනවාදී ගැඹුරු තර්ක විතර්ක පසුපස ඇත්තේ එකම කාරණයක් පමණි. ‘‘ඊර්ෂියාව’’ ‘‘වෛරය’’. කෙනෙක් ආදරය කිරීම බලා සතුටු වීම මිනිසුන්ට හුරු නැත. එක්කෝ කොල්ලාට කතාවක් හදති. නැතිනම් කෙල්ලට කතාවක් හදති. නැත්නම් දෙදෙනාටම කතාවක් හදති. වැලන්ටයින් විරෝධ කරන ප‍්‍රබුද්ධයවාදීන්ගේ පශ්චාත් භාග තුළ එම ඉරිසියාවේ අසූචි තැවරී ඇත. කෙනෙක් සිනහ වී සතුටින් සිටීම ඔවුන්ට වටින්නේ නැත. බොහෝ විට සමාජය විසින් ඔවුන්ට සිදුකළ අසාධාරණකම් එම තත්වයට ඔවුන් පත් කර ඇත. ඒ තුළ ඔවුන් සමාජයෙන් පළිගැනීමට මාන බලති. ඒ පළිගැනීම තුළ ඔවුන් විසින් තවරාගත් අසූචි වල දුර්ගන්ධය තව තවත් සමාජය වෙත සම්පේ‍්‍රශණය වෙති.Radical විමට පොටක් පෑදෙන තුරු සිටින අහේතුකවාදී ගන්ධබ්බයන් එම දුර්ගන්ධයට වහවැටී ප‍්‍රබුද්ධවාදීන්ගේ පශ්චාත් භාග සිින්නට යන්නේ ඉන් අනතුරුවය. එවිට ඔවුහු ප‍්‍රබුද්ධවාදීන්ගේ  අංකුර පැටවුන් බවට පත්වී ‘‘වැලන්ටයින් එපා’’ ‘‘අපි විරුද්දයි’’ ‘‘ලංකාවට වැලන්ටයින් එපා’’ යැයි කෑමොර දෙති. ඒ තුළ සමස්ථ සමාජයටම මෙම පිළිලය ව්‍යාප්ත වීමේ අවධානමට දැන් සමාජය පත්වී සිටියි.
                                ආදරය කරන අය ද සර්ව සාධාරණ නැත. ආදරවන්තයින්ගේ දිනයේදී tution cut කර 600 කාමර තුළ රිංගීම ආදරය නොවේ. නැතහොත් Love train වල, බස්වල පෙම් මුළුවල ලැගීම ආදරය නොවේ. ප්‍රේමය නම් වූ බැඳීම තුළ ඇති සවිඥානික බව මනාව වටහා ගෙන මෙය වින්දනය කිරීම ආදරවන්තයින්ගේ වගකීමයි.


                                ඉන් ඔබ්බට මෙම දිනය තුළ කරන්නට කියන්නට දෑ බොහෝමයක් අපිට ඇත. ආදරය, පේ‍්‍රමය, විරහව පිළිබඳ කතිකාවතක් සමාජය තුළ නිර්මාණය කරන දිනයක් බවට මෙම දිනය අප පත්කර ගත යුතුය. ආදරය, පේ‍්‍රමය නමින් මිනිසුන් අතරමං වී සිටින තැන්වලට ප‍්‍රතිඋත්තර සපයා ඔවුන්ව එම මායාවෙන්  නිදහස් කර ගැනීම මේ දිනයේ කරන්නට ඇත්නම් එය අනගිභවනීය වේ. තාරුණ්‍යය පමණක් නොව, වයස් භේදයකින් තොරව සමස්ථ සමාජයට ආදරය ගැන අලූතින් හිතන්නට කාලය එළඹ ඇත. ඒ සඳහා උත්තේජනයක් සපයන්නට මුල් පියවර තබන දිනයක් බවට මෙම දිනය අප විසින් පත්කරගත යුතුය. වර්තමානයේ ආදරවන්තයින්ට නිදහසේ ආදරය කරන්නට තැනක් නැත. Park  1 කට ගිය පසු විසිල් කාරයෝ හරක් එළවන සේ ආදරවන්තයින් පන්නා දමයි. Beach  1 කට ගියහොත් තොරම්බල්කරුවන් හා කඩලකරුවන්ගේ අඩුවක් නැත. ඔවුන් අත මුදලක් තබනතුරු පෙම්වතුන් ළඟින් ඔවුන් සෙලවෙන්නේ නැත. එවිට පෙම් කිරීම පැත්තක තියා තොරම්බල්කරුවන්ගේ මුහුණත් තහඩු දෙස බලා හිදීමට පෙම්වතුන්ට සිදුවන්නේ, ඔවුන් අත මුදලක් තැබුවහොත් පෙම්වතිය සමඟ බස්එකේ යන්නට වත් පිච්චයක් ඔවුන් අත ඉතිරි නොවන නිසාවෙනි. එපමණකින් නොනැවතී, රෙදි පොට්ටනි බැඳන් පැමිණෙන සාස්තරකරුවන්ගෙන් ද එල්ලවන බාධා බොහෝය. එමෙන්ම පෙම්වතාට දෙකක් ඇණ පෙම්වතිය පැහැරගෙන ගොස් දූෂණය කළ කතා ද අපි අසා නැතුවා නොවේ. සමාජය ළමා පරපුර ගැන මහත් ආදරයකින් ඇල්මකින් කතා කරති. වැඩිහිටියන්ට ද රැකවරණය ලැබිය යුතු බවට හඬනගති. එහෙත් තරුණයන්ට සිදුවන මෙවන් කෙනෙහෙළිකම් ගැන කතා කිරීමට කිසිම සංවිධානයක් හෝ පුද්ගලයෙක් නැත. තරුණ ප‍්‍රතිපත්ති, තරුණ දින, තරුණ පාර්ලීමේන්තු ගැන අපි අසා ඇත. නමුත් නිලධාරීන් සුරසැප විඳිමින්, පුටු රත් කරමින් විදේශගත වෙමින්, සමුළු පවත්වමින් සංදර්ශන කළා හැර මෑත කාලයේ තරුණයන්ගේ සැබෑ ප‍්‍රශ්නවලට උත්තර ලැබුනේ නැත. පෙබරවාරි 14 යනු මේ සියල්ල පිළිබඳ කතා කල යුතු දිනයයි. තාරුණ්‍යයේ මානසික පරිහානියක් සිදුවුවහොත් රටේ සංවර්ධන ක‍්‍රියාවලිය පවා අඩාල විය හැක. මෙම දැනුවත් කිරීම නොමැතිකම, සියදිවි නසා ගැනීම්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම් sex search කර ප‍්‍රථම ස්ථානය ගැනීම් වැනි දේ උදෙසා සෘජුව බලපානු ඇත.
               
  ආදරවන්තයන්ගේ දිනය සමරන්නට අපි සැවොම එක්වෙමු. ආදරය, පේ‍්‍රමය ආදී මානව යථාර්ථවාදී ගැඟීම් සානුකම්පිතව කියවන සමාජයක් උදෙසා පාරමී කරමු. ආදරය, පේ‍්‍රමය විඳින පෙම්වතුන් පෙම්වතියන්ට මෙන්ම ආදරය හිමි වූ අහිමි වූ ඔබ සැම ප‍්‍රිතිමත් ආදරවන්තයින්ගේ දිනයක් වේවා යන පැතුම සමඟින් ඔබෙන් සමු ගනිමි.

                සමාජය මොන බයිලා දෙසුව ද මේ දිනය ආදරය දැනුන ඔබ අප සැමගේය. වෛරය ඊර්ෂියාව රොද බැඳි හිත්වලට, ආදරයේ උණුසුම, දැනේවා යයි අපි ඉතසිතින් පතන්නෙමු. ඔබත් මමත් මුළු ලෝකයත් එක්ව සතුටු සිතින් සාමයෙන් සැමරිය හැකි ආදරවන්තයන්ගේ දිනයක් උදාවේවා යන සැතුම අපි පතන්නෙමු. 

Wednesday, November 5, 2014

හන්තානට පායන හඳ ලස්සන නැත......!


පද පේළි 6ක් තුළ ඉතා සියුම්ව ඇමිණු වචනාවලියකින් මේතරම් ආලයක්, ස්නේහයක්, විශ්වාසයක්, ලබැඳියාවක් සම්පේ‍්‍රශනය කළ හැකි දැයි මම දැන නොසිටියෙමි. හදවතෙහි අංශු මාත‍්‍රීය කේශනාලිකා පවා සසල කර සංවේදී කරවන්නට තරම් ඔබ පිදූ ස්නේහවන්තකම පොහොසත්වී තිබුණි. එවන් වසන්තයකට ජීවිත වසන්තයද අංගසම වූ කල්හි ඔබ නැවතත් ගිම්හානයට ඇරයුම් කරනුයේ කෙසේ දැයි මා හට අවබෝධ කරගැනීමට අපහසුය. හන්තානට පායන, එහෙත් මා ගතට සිසිලස නොගෙනෙන, ඔබද නොදකින ඒ පියකරු පුරහඳ දෙස බලා මම මේ පිළිතුරු කථනය කරමි. ඔබ මෙන් සුන්දරව එළිසම ගැළපීමට හැකියාවක් නොමැති හෙයින් වැටහෙනා අයුරින් පරිච්ෙඡ්ද තුළට මාගේ ආදරය මෙසේ ගළපමි.


අප හදවත්හි සදා අමරණීය වූ අතීත මතකයන්ගේ විචිත‍්‍රත්වය අමුතුවෙන් මා විග‍්‍රහ කළ යුතු නැත. උපකාරක පංතියේ කළ කී දෑ, මංපෙත් පුරා ආ ගිය මතකයන් මතක මන්දිර තුළ සදාතනිකය. පුංචි පුංචි හීන ලොකුම ලොකු බලාපොරොත්තු බවට පත්කර , එකම හීනයක්, එකම බලාපොරොත්තුවක් හදවත තුළ අධිෂ්ඨානගත වන්නට අපි පාරමී පිරුවෙමු. ඒ අරමුණ මොහොතකට අභියෝගයකට ලක් වූයේ උසස් පෙළ ප‍්‍රතිඵල මා හට පේරාදෙණියේ ඉඩහසර විවර කරන විටය. සරසවි සිහිනයේ උත්කෘෂ්ඨයේ සදාදරණීය ප‍්‍රතිමූර්තිය පේරාදෙණියණි ඔබට වරම් නැති, මට වරම් ඇති සරසවිය වාසනාවක් හෝ අවාසනාවක් දැයි වටහා ගැනීමට මට නොවැටහුණි. සිතේ කිසියම් සොම්නසක් ජනිත වුවද, ඔබ නොමැති දොම්නස මහා මේඝයක් වී එකී සොම්නස ක්‍ෂණයකින් මකා දමයි.



තාරකාවල දිදුලන දීප්තියට වඩා පුරහඳෙහි ආලෝකය රාත‍්‍රියට ආශිර්වාදයකි. ඔබ නොදකින පුරහඳ මෙහි ඇති පේ‍්‍රමණීය සිත් සිසිලයෙන් පේ‍්‍රමාන්විත කළද, මා හට එහි පියකරු අලංකාරත්වයක් නොමැත. මේ රාත‍්‍රියේ ලොව යම් තැනක් හිරු කිරණින් ආලෝකමත් වී ඇති බව නිසැකය. මාගේ ලෝකයේ හිරුද එසේය. හඳ උයන් තෙරේ සියොතුන්ට රාව නඟන්නට පැතුම් මල් විකසිතව දසත සුවඳවත් කරන්නට ජීවය පොවන හිරුකිරණ ඔබය. ආත්මීය බැඳීමක පුරෝකථනයෙන් ජීවිතයක් අරුත්බර කළ හද බිම්තෙරේ සිසිලස ඔබය. එහෙයින් හන්තානට පායන සඳ මා හට ලස්සන නැත. මගේ ලොවෙහි පෑයූ හිරු ඒ සඳට වඩා මට රැකවරණය සලසනු ඇත.



වැස්ස කවදත් අපට හුරු පුරුදුය. මංමාවත් පුරා කාලය කා දමමින්, පෙම්බස් තෙපලමින් කුඩය යටින් ගිය මතකයන්, පාළුව නම් වූ කර්කශ මරුකතරට දිය පොදක් සේය. කඳු මුදුන්හි සිට පැමිණ එක් ක්‍ෂණයකින් සරසවි බිම ආක‍්‍රමණය කරන මිහිදුම් කුමරිය, හිරිකඩ වැස්සේ සුන්දරත්වය තවත් ඔප්නංවයි. හන්තානයේ සිසිලස රැුගෙන හමන සුළං රොද හා කරට කර පොර බඳිමින් ගත දැවටෙන දිය තුහින, පේ‍්‍රමකතාවකට මුල පුරන්නට කරන ආරාධනයක් වැනිය. සොබාදහමේ අපූර්වත්වය ඒකාධිපතියෙක් සේ තම අණසක පැතුරූ සරසවි බිම තුළ, එකී අපූර්වත්වයෙන් ජීවිත සිත්තම පින්තාරු කරගත් ආදරවන්තයන් එමටය. එහෙත් එම සුන්දරත්වය, මා සිත ඔබේ ග‍්‍රහණයෙන් මුදා ගැනීමට තරම් සවිමත් නැත. ගිරි දුර්ගයන්ගෙන් ගහණ කටුක වූ ජීවිත මඟක්, රෝස මල් ඇතිරූ පාරාදීසයක් බවට පත්කළ සොඳුරු පේ‍්‍රමවන්තයා ඔබය. ඒ සොඳුරු පෙම්වතා හැර වෙනත් කිසිවෙක්ට මගේ කුඩය යට අවසර නැත.


ලතා මඬුලූ නෙක අණසක පැතිරූ සරසවි භූමිය, සිහින හා බලාපොරොත්තුවල අත්තිවාරම් තනන ආදරවන්තයන්ට කදිම තෝතැන්නකි. එම ආදරවන්තයන්ට ලොවෙන් වසන්ව ආලයේ උණුසුම විඳිගන්නට සරිලන සේ ඇතැම් ලතා මඬුලූ ස්වභාවයෙන්ම සැකසී ඇත. පිට ඔපයෙන් මාගේ තනිකම මිනුම්ගත කළ ලතා මඬුලූ පෙළ පිරිමි කයක් හා පෙමින් වෙලෙන්නට ස්වකීය සෙවණට මට ආරාධනා කරති. එහෙත් මෙතුවක් කලක් ඔබ සෙවණේ ආදරයේ උණුසුම විඳි මම, එම ආරාධනයන් අංශුමාත‍්‍රයකුදු මායිම් නොකරන බව කිව යුත්තෙමි. සැතපුම් ගනනක් දුරින් ඔබ සිටිය ද, අප මතකයන්ගේ සුන්දරත්වය සැමදා මාගේ තනිකම නසා ලනු ඇත.


ඔබ විසින් නිර්මිත මෙම අතිශය විචිත‍්‍රවත් වූ සෞන්දර්යාත්මක චිත‍්‍රණය ඔබගේ ආදරය විසින්ම පරිකල්පනීය අභියෝගයකට ලක්කර ඇත්තේ අවසානයේදීය. විරල වූත්, එහෙත් සුන්දර වූත් දෘෂ්ඨි කෝණයකින් ආදරය අර්ථ විග‍්‍රහ කළ ඔබ මෙතරම් අන්තගාමී ඉල්ලීමක් කරනුයේ කෙසේදැයි මම නොදනිමි. මෙතුවක් කලක් පුරාවට ඔබ තිළිණ කළ මතකයන් භෞතික වස්තුවක් සේ ගුළිකර මහවැලියට විසි කිරීම, මා හට සිහිනයකින් වත් නොසිතිය හැකි සිහිනයක් බඳුය. ගෙන්දගම් පොළොවේ පය ගසා කිසි ලෙසකින් හෝ සිදුකළ නොහැකි එය, සිහිනයකින් හෝ සිදුකලහොත්, එකී මහවැලියම මහා ජලකඳක්ව නැගී සිට මා  සුණු විසුණු කර දමනු ඇත. හදවතේ ගැඹුරුම තැනෙහි ගුළිකර තැන්පත් කළ මතකයක් ඉන් පිටතට ගැනීම අතිශයින් අසීරුය. මා ජීවිතයට සුසුම් පොද එක්කරණුයේ එම මතකයන්ය.


එම අන්තගාමී ආයාචනය තුළ නැවත නැවතත් මා විනිවිද දකිනුයේ ඔබ තිළිණ කළ ආදරයේ නිර්මලත්වයයි. අවංකත්වයයි. තමා සතු සියල්ල ආදරය වෙනුවෙන් කැපකර ආපසු යමක් බලාපොරොත්තු නොවන බෝධිසත්ව ගුණයෙන් ඔබ පරිපූර්ණ බව මම අවබෝධ කරගත්තෙමි. එම බෝධිසත්ව ගුණාංගයම ආදරයේ නාමයෙන් අතික‍්‍රමණය කළ ඔබ, මාගේ සතුට වෙනුවෙන් අසීමිත දෝමනස්සයක් කර මත පටවා ගැනීමට දරණ සම්මා වායාමයට මම එකඟ නොවන බව ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. හන්තාන පුරහඳ, හිරිකඩ වැස්ස, ලතා මඬුලූ පෙළ, මහවැලියේ කෝමළත්වයට වඩා, පේ‍්‍රමයේ සංහිඳ මත පූජනීය කල ඔබ ආදරය මා ජීවිතය ප‍්‍රභාවත් කර ඇත. මතු යම් දිනෙක ඔබ දෑතේ වෙළී පියමනින්නට, ඈත සඳ දෙස බලා පැතුමක් පතන්නට මම වාසනාවන්ත බව මම දනිමි. එම දිනය උදාවන තුරු උපේක්‍ෂා සහගතව මම බලා සිටිමි. එතෙක් හන්තානට පායන හඳ, මා හට ලස්සන නැත.

මීට,
සොබාදහම් විපර්යාස හමුවේ වෙනස් නොවන,
ඔබගේම ආදරය.


Monday, October 20, 2014

පියයුරු පිළිකාව


රතු පාට ලේ කැටිති
තිසර පට පුරාවට
අහුවෙනවා ගෙඩි වගේ
මන්දා මේ ඇයි කියා

රතු වෙලා තැනින් තැන
හැඩෙත් අමුතුයි වගේ
රිදෙනවා විටෙන් විට
හරිම අමුතුයි ඇඟට

දෙදරුවන් වැදු එ වත
ඉසිලුවද වේදනා
පැතිරුණා ටිකෙන් ටික
දරුණුවට ඇඟ පුරා






රිදෙනවා පයෝධර
යමුද දොස්තර ළඟට
හිඳින්නට බැරි තැනම
පැතුවෙ හිමි අවසරය

පෙන්නලා මදිද මට
බැඳපු දවසේ පටන්
දොස්තරයා අල්ලද්දි
හරි සැපයි නේද බොට..?

මෙහෙ ඉඳින් ගෙට වෙලා
අඩු වෙලා යයි ඕක
ගාගනින් තැලුම් තෙල්
පැය 6 ට පැන්ඩෝල්

ගතවුණා මාසයක්
අඩු නැතේ වේදනා
කෙස් ගොඩක් ගැළවුණා
පිරිමදින විට පවා

මහා හයියක් අරන්
ගෙදර බුදු වූ මවට
හිටගන්නවත් බැරිව
දුබල විය මුලු ගතම




ඇස් ඇරුණා හිමි සඳගෙ
ගත්තා ත්‍රී වීලයක්
පැටෙව්වා ලෙඩ කයම
ළඟම ඩිස්පෙන්සරිය වෙත

ගෙනියන්න මහරගම
අමාරුයි වගේ මැයට
ඒ සැණින් ඉගිලුණා
රෝහලේ සායනෙට

වාට්ටුවෙ නෑ ඉඩක්
පිරිල සේරම ඇඳන්
හැමෝටම එක ලෙඩේ
මේ කුමන කරුමයක්..?

මොනව කෙරුවද තියන්
ගෙයි ඉඳන් මේ තරම්
දැන් පරක්කුයි ටිකක්
අසතුටින් දොස්තරත්


ආදරයෙ උල්පතලු
කවියො පැවසුවෙ එයයි
එහෙත් අද බලාපන්
ඇය හරිම දුර්වලයි

හුස්ම පොද එකින් එක
ඈත් වෙනවා වගේ
අහෝ මොන ඛේදයක්
ඇය දුරක ගොස් වගේ

හිමි සඳට ලෝකයක්
දරුවන්ට සෙනෙහසක්
අහිමිවිය ජීවයක්
නොපිරවෙන හිස්තැනක්


තවත් එක කථාවක්
මෙය නොසළකනු එලෙස
දැනුවත්ව තිත තබමු
මේ කුරිරු  ව්‍යවසනෙට