Wednesday, November 5, 2014

හන්තානට පායන හඳ ලස්සන නැත......!


පද පේළි 6ක් තුළ ඉතා සියුම්ව ඇමිණු වචනාවලියකින් මේතරම් ආලයක්, ස්නේහයක්, විශ්වාසයක්, ලබැඳියාවක් සම්පේ‍්‍රශනය කළ හැකි දැයි මම දැන නොසිටියෙමි. හදවතෙහි අංශු මාත‍්‍රීය කේශනාලිකා පවා සසල කර සංවේදී කරවන්නට තරම් ඔබ පිදූ ස්නේහවන්තකම පොහොසත්වී තිබුණි. එවන් වසන්තයකට ජීවිත වසන්තයද අංගසම වූ කල්හි ඔබ නැවතත් ගිම්හානයට ඇරයුම් කරනුයේ කෙසේ දැයි මා හට අවබෝධ කරගැනීමට අපහසුය. හන්තානට පායන, එහෙත් මා ගතට සිසිලස නොගෙනෙන, ඔබද නොදකින ඒ පියකරු පුරහඳ දෙස බලා මම මේ පිළිතුරු කථනය කරමි. ඔබ මෙන් සුන්දරව එළිසම ගැළපීමට හැකියාවක් නොමැති හෙයින් වැටහෙනා අයුරින් පරිච්ෙඡ්ද තුළට මාගේ ආදරය මෙසේ ගළපමි.


අප හදවත්හි සදා අමරණීය වූ අතීත මතකයන්ගේ විචිත‍්‍රත්වය අමුතුවෙන් මා විග‍්‍රහ කළ යුතු නැත. උපකාරක පංතියේ කළ කී දෑ, මංපෙත් පුරා ආ ගිය මතකයන් මතක මන්දිර තුළ සදාතනිකය. පුංචි පුංචි හීන ලොකුම ලොකු බලාපොරොත්තු බවට පත්කර , එකම හීනයක්, එකම බලාපොරොත්තුවක් හදවත තුළ අධිෂ්ඨානගත වන්නට අපි පාරමී පිරුවෙමු. ඒ අරමුණ මොහොතකට අභියෝගයකට ලක් වූයේ උසස් පෙළ ප‍්‍රතිඵල මා හට පේරාදෙණියේ ඉඩහසර විවර කරන විටය. සරසවි සිහිනයේ උත්කෘෂ්ඨයේ සදාදරණීය ප‍්‍රතිමූර්තිය පේරාදෙණියණි ඔබට වරම් නැති, මට වරම් ඇති සරසවිය වාසනාවක් හෝ අවාසනාවක් දැයි වටහා ගැනීමට මට නොවැටහුණි. සිතේ කිසියම් සොම්නසක් ජනිත වුවද, ඔබ නොමැති දොම්නස මහා මේඝයක් වී එකී සොම්නස ක්‍ෂණයකින් මකා දමයි.



තාරකාවල දිදුලන දීප්තියට වඩා පුරහඳෙහි ආලෝකය රාත‍්‍රියට ආශිර්වාදයකි. ඔබ නොදකින පුරහඳ මෙහි ඇති පේ‍්‍රමණීය සිත් සිසිලයෙන් පේ‍්‍රමාන්විත කළද, මා හට එහි පියකරු අලංකාරත්වයක් නොමැත. මේ රාත‍්‍රියේ ලොව යම් තැනක් හිරු කිරණින් ආලෝකමත් වී ඇති බව නිසැකය. මාගේ ලෝකයේ හිරුද එසේය. හඳ උයන් තෙරේ සියොතුන්ට රාව නඟන්නට පැතුම් මල් විකසිතව දසත සුවඳවත් කරන්නට ජීවය පොවන හිරුකිරණ ඔබය. ආත්මීය බැඳීමක පුරෝකථනයෙන් ජීවිතයක් අරුත්බර කළ හද බිම්තෙරේ සිසිලස ඔබය. එහෙයින් හන්තානට පායන සඳ මා හට ලස්සන නැත. මගේ ලොවෙහි පෑයූ හිරු ඒ සඳට වඩා මට රැකවරණය සලසනු ඇත.



වැස්ස කවදත් අපට හුරු පුරුදුය. මංමාවත් පුරා කාලය කා දමමින්, පෙම්බස් තෙපලමින් කුඩය යටින් ගිය මතකයන්, පාළුව නම් වූ කර්කශ මරුකතරට දිය පොදක් සේය. කඳු මුදුන්හි සිට පැමිණ එක් ක්‍ෂණයකින් සරසවි බිම ආක‍්‍රමණය කරන මිහිදුම් කුමරිය, හිරිකඩ වැස්සේ සුන්දරත්වය තවත් ඔප්නංවයි. හන්තානයේ සිසිලස රැුගෙන හමන සුළං රොද හා කරට කර පොර බඳිමින් ගත දැවටෙන දිය තුහින, පේ‍්‍රමකතාවකට මුල පුරන්නට කරන ආරාධනයක් වැනිය. සොබාදහමේ අපූර්වත්වය ඒකාධිපතියෙක් සේ තම අණසක පැතුරූ සරසවි බිම තුළ, එකී අපූර්වත්වයෙන් ජීවිත සිත්තම පින්තාරු කරගත් ආදරවන්තයන් එමටය. එහෙත් එම සුන්දරත්වය, මා සිත ඔබේ ග‍්‍රහණයෙන් මුදා ගැනීමට තරම් සවිමත් නැත. ගිරි දුර්ගයන්ගෙන් ගහණ කටුක වූ ජීවිත මඟක්, රෝස මල් ඇතිරූ පාරාදීසයක් බවට පත්කළ සොඳුරු පේ‍්‍රමවන්තයා ඔබය. ඒ සොඳුරු පෙම්වතා හැර වෙනත් කිසිවෙක්ට මගේ කුඩය යට අවසර නැත.


ලතා මඬුලූ නෙක අණසක පැතිරූ සරසවි භූමිය, සිහින හා බලාපොරොත්තුවල අත්තිවාරම් තනන ආදරවන්තයන්ට කදිම තෝතැන්නකි. එම ආදරවන්තයන්ට ලොවෙන් වසන්ව ආලයේ උණුසුම විඳිගන්නට සරිලන සේ ඇතැම් ලතා මඬුලූ ස්වභාවයෙන්ම සැකසී ඇත. පිට ඔපයෙන් මාගේ තනිකම මිනුම්ගත කළ ලතා මඬුලූ පෙළ පිරිමි කයක් හා පෙමින් වෙලෙන්නට ස්වකීය සෙවණට මට ආරාධනා කරති. එහෙත් මෙතුවක් කලක් ඔබ සෙවණේ ආදරයේ උණුසුම විඳි මම, එම ආරාධනයන් අංශුමාත‍්‍රයකුදු මායිම් නොකරන බව කිව යුත්තෙමි. සැතපුම් ගනනක් දුරින් ඔබ සිටිය ද, අප මතකයන්ගේ සුන්දරත්වය සැමදා මාගේ තනිකම නසා ලනු ඇත.


ඔබ විසින් නිර්මිත මෙම අතිශය විචිත‍්‍රවත් වූ සෞන්දර්යාත්මක චිත‍්‍රණය ඔබගේ ආදරය විසින්ම පරිකල්පනීය අභියෝගයකට ලක්කර ඇත්තේ අවසානයේදීය. විරල වූත්, එහෙත් සුන්දර වූත් දෘෂ්ඨි කෝණයකින් ආදරය අර්ථ විග‍්‍රහ කළ ඔබ මෙතරම් අන්තගාමී ඉල්ලීමක් කරනුයේ කෙසේදැයි මම නොදනිමි. මෙතුවක් කලක් පුරාවට ඔබ තිළිණ කළ මතකයන් භෞතික වස්තුවක් සේ ගුළිකර මහවැලියට විසි කිරීම, මා හට සිහිනයකින් වත් නොසිතිය හැකි සිහිනයක් බඳුය. ගෙන්දගම් පොළොවේ පය ගසා කිසි ලෙසකින් හෝ සිදුකළ නොහැකි එය, සිහිනයකින් හෝ සිදුකලහොත්, එකී මහවැලියම මහා ජලකඳක්ව නැගී සිට මා  සුණු විසුණු කර දමනු ඇත. හදවතේ ගැඹුරුම තැනෙහි ගුළිකර තැන්පත් කළ මතකයක් ඉන් පිටතට ගැනීම අතිශයින් අසීරුය. මා ජීවිතයට සුසුම් පොද එක්කරණුයේ එම මතකයන්ය.


එම අන්තගාමී ආයාචනය තුළ නැවත නැවතත් මා විනිවිද දකිනුයේ ඔබ තිළිණ කළ ආදරයේ නිර්මලත්වයයි. අවංකත්වයයි. තමා සතු සියල්ල ආදරය වෙනුවෙන් කැපකර ආපසු යමක් බලාපොරොත්තු නොවන බෝධිසත්ව ගුණයෙන් ඔබ පරිපූර්ණ බව මම අවබෝධ කරගත්තෙමි. එම බෝධිසත්ව ගුණාංගයම ආදරයේ නාමයෙන් අතික‍්‍රමණය කළ ඔබ, මාගේ සතුට වෙනුවෙන් අසීමිත දෝමනස්සයක් කර මත පටවා ගැනීමට දරණ සම්මා වායාමයට මම එකඟ නොවන බව ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. හන්තාන පුරහඳ, හිරිකඩ වැස්ස, ලතා මඬුලූ පෙළ, මහවැලියේ කෝමළත්වයට වඩා, පේ‍්‍රමයේ සංහිඳ මත පූජනීය කල ඔබ ආදරය මා ජීවිතය ප‍්‍රභාවත් කර ඇත. මතු යම් දිනෙක ඔබ දෑතේ වෙළී පියමනින්නට, ඈත සඳ දෙස බලා පැතුමක් පතන්නට මම වාසනාවන්ත බව මම දනිමි. එම දිනය උදාවන තුරු උපේක්‍ෂා සහගතව මම බලා සිටිමි. එතෙක් හන්තානට පායන හඳ, මා හට ලස්සන නැත.

මීට,
සොබාදහම් විපර්යාස හමුවේ වෙනස් නොවන,
ඔබගේම ආදරය.


Monday, October 20, 2014

පියයුරු පිළිකාව


රතු පාට ලේ කැටිති
තිසර පට පුරාවට
අහුවෙනවා ගෙඩි වගේ
මන්දා මේ ඇයි කියා

රතු වෙලා තැනින් තැන
හැඩෙත් අමුතුයි වගේ
රිදෙනවා විටෙන් විට
හරිම අමුතුයි ඇඟට

දෙදරුවන් වැදු එ වත
ඉසිලුවද වේදනා
පැතිරුණා ටිකෙන් ටික
දරුණුවට ඇඟ පුරා






රිදෙනවා පයෝධර
යමුද දොස්තර ළඟට
හිඳින්නට බැරි තැනම
පැතුවෙ හිමි අවසරය

පෙන්නලා මදිද මට
බැඳපු දවසේ පටන්
දොස්තරයා අල්ලද්දි
හරි සැපයි නේද බොට..?

මෙහෙ ඉඳින් ගෙට වෙලා
අඩු වෙලා යයි ඕක
ගාගනින් තැලුම් තෙල්
පැය 6 ට පැන්ඩෝල්

ගතවුණා මාසයක්
අඩු නැතේ වේදනා
කෙස් ගොඩක් ගැළවුණා
පිරිමදින විට පවා

මහා හයියක් අරන්
ගෙදර බුදු වූ මවට
හිටගන්නවත් බැරිව
දුබල විය මුලු ගතම




ඇස් ඇරුණා හිමි සඳගෙ
ගත්තා ත්‍රී වීලයක්
පැටෙව්වා ලෙඩ කයම
ළඟම ඩිස්පෙන්සරිය වෙත

ගෙනියන්න මහරගම
අමාරුයි වගේ මැයට
ඒ සැණින් ඉගිලුණා
රෝහලේ සායනෙට

වාට්ටුවෙ නෑ ඉඩක්
පිරිල සේරම ඇඳන්
හැමෝටම එක ලෙඩේ
මේ කුමන කරුමයක්..?

මොනව කෙරුවද තියන්
ගෙයි ඉඳන් මේ තරම්
දැන් පරක්කුයි ටිකක්
අසතුටින් දොස්තරත්


ආදරයෙ උල්පතලු
කවියො පැවසුවෙ එයයි
එහෙත් අද බලාපන්
ඇය හරිම දුර්වලයි

හුස්ම පොද එකින් එක
ඈත් වෙනවා වගේ
අහෝ මොන ඛේදයක්
ඇය දුරක ගොස් වගේ

හිමි සඳට ලෝකයක්
දරුවන්ට සෙනෙහසක්
අහිමිවිය ජීවයක්
නොපිරවෙන හිස්තැනක්


තවත් එක කථාවක්
මෙය නොසළකනු එලෙස
දැනුවත්ව තිත තබමු
මේ කුරිරු  ව්‍යවසනෙට



Monday, October 6, 2014

වාරියපොළ + රත්නපුර පසුවදන

වාරියපොළ නාටකයෙන් අනතුරුව පසුවදනක් ලිවීමට සිත් වුවද මානසික කාර්යබහුලත්වය නිසා එය මහැරිණ. එහෙත් සිදුවන සමාජ සංස්කතික සෝදාපාලුවේ තවත් පරිච්ඡේදයක් විවර කරමින් රත්නපුරදී සිදුවූ අමානුෂික පහරදීම දුටු විට දෙනෙත් පමණක් නොව ලෙයද සලිත වූ බැවින් මෙසේ ලියන්නට සිත් විය.
ශ්‍රී ලාංකේය කාන්තාව පිළිබ ඉතිහාසයේ ඈතම කෙළවර මූලාශ්‍රය කුවේණිය යි. විජය, කුවේණිය පලවා හැර ඉන්දියාවෙන් කුමාරියක් සරණ පාවා ගැනීමේ සිට අද වනතුරු ශ්‍රී ලාංකේය කාන්තාව වේදනාව හා අපහාසය මිටින් තුරුල් කරගෙන මව්කුසයෙන් උපත ලබති.

එකී අංකුර ප්‍රපංචයේ නාටකයන් සජීවීව අත්විඳින සමාජයක ආතල් ගන්නා ප්‍රේක්ෂක පිරිසක් බවට අපි පත්වී සිටින්නෙමු. ධනවාදයේ කටුක සෙවණැල්ළෙන් පීඩිත ජීවිත වලට ලල් එකක් අත්‍යාවශ්‍යය. එසේ නොමැතිනම් ශ්‍රී ලාංකිකයාට පැවැත්මක් නැත. එහෙත් එම ආතල් උදෙසා වස්තු බීජ බවට කාන්තාව පමණක්ම පත්වීම සමාජය මුහුණ දී සිටින අතිය ඛේදනීය ඉරණමකි. එම ඛේදාන්තයේ බරපතලකම නම් මීට සවිානික නොවන කාන්තාව සමාජයට ආතල් දීම උදෙසා ස්ව කැමැත්තෙන් අනුවණ ක්‍රියාකාරකම් වල යෙදීමයි. ගෙවී ගිය කාලය පුරාවට සමාජය නිර්මාණය කළ සංසිද්ධීන් මීට පැහැදිලි උදාහරණ සපයයි.

සමාජ වෙබ් අඩවි තුළ අරක්ගත් ප්‍රබුද්ධ මතධාරීන් සමස්ත සමාජ පද්ධතියෙහිම පාලනය අතට ගත් ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට හැකිය. ඔවුහු වෙනසකට සංවේදී නොවෙති. Ex-Alien සංගීත ශෛලිය ඔවුන් දිරෙව්වේ නැත. නිරුවතින් රHollywood music video කට ඇරන් බලා සිටි ඔවුන් හට Ex-Alien කුණුහරුපයක් විය. තවදුරටත් එවන් ගණයේ නිර්මාණ බිහි නොවන තැනටම එම ගායිකාව සමාජයීයව දූෂණය කර පණපිටින් වැළලූහ.

වාරියපොළ තරුණයෙක් හට ගොන් පාට් පෙන්වන්නට ගොස් කාන්තාවක් කුජීත වන්නේ මේ අතරවාරයේය. පුරුෂ මූලික වූ සමාජ ක්‍රමයක් තුළ පුරුෂයෙක්ටම පහර දී superhero වන්නට ගිය ඇයට  අවසානයේ සිදු වූයේ පශ්චාත් භාග පමණක් නොව සර්වාංගයම බිම ඇනගෙන මානසික රෝහල් හා පොලිසි ගාණේ ලගින්නටය. සිද්ධියෙන් ඔබ්බට ආතල් ගන්නා පරපුරට සමාජ වෙබ් අඩවි තූළ කියන්නට කරන්නට බොහෝ දේ විය. ඇයගේ රුව යෙදූ fb posts, photo comments, fb pages හතු පිපෙන්නාක් මෙන් Fb පුරා පැතිරෙන්නට විය. කලකින් පසු තමන් සොයා පැමිණි මෙම සීනි බෝල ආතල් එක යහමින් චප කරන්නට අප පරපුර වග බලා ගත්හ.

එහි උණුසුම යාන්තමට පහව ගිය පසු රත්නපුර නගර මධ්‍යයයේ පොලිස් නිළධාරියෙක් අමානුෂික ලෙස කාන්තාවකට පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් විය. එය video කරන්නට අය සිටියද එම අවස්ථාවේ ඇයව බේරාගන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීම සමාජය තුළ අප මුහුණ දෙන ඛේදවාචකයයි. එක් අතකට පව්කාරයාට ගල් ගසන සමාජය තුළ තවත් අය වටවී ඇයට පහර නොදීම පිළිබ අපි සතුටු විය යුතුය. එහෙත් උස්බෙකිස්තාන්, තායිවාන් ගණිකාවන් යහමින් අලෙවි වන පිංබිමේ බඩ වියත රැකගන්නට වීථියට බට කාන්තාවට අත්වූ ඉරණම එය විය.

Jacquline ගේ කෑම සූත්‍රයයෙහි ආප්පය 200 වූ විට නැවත වරක් ප්‍රබුද්ධ මහතුන්ගේ පුපුල්ලාසන රත්විය. නැවත fb වේදිකාව මත්තෙහි අවි අමෝරා කරණම් ගසන්නට විෂයයක් නිර්මාණය විය. Jacquline වත්, කෑම සූත්‍රයත් පතුරු ගැසූ ඔවුහු නොදැනුවත්වම දැවැන්ත marketing පාරක් ඒ වෙත ලබාදුන්හ. මහේල හා සංගාගේ Ministry of Crabs හි ඉස්සෙක් රුපියල් 250 ක් පමණ වන බව ඔවුහු නොදත්තෝය. මේ තැන් 2 ටම යන්නේ 154 කොන්දාගේ ලොකු ලයින් එකට නතු වී ලැමිනේට් වී සේවයට යන රාජ්‍ය හෝ පෙද්ගලික සේවකයා නොව, BMW වලින් ගොඩබහින සුපිරි පැලැන්තිය හෝ විදෙස් සංචාරයන් බව එම සිිති මොළ වලට නොවැටහුණි. කෙනෙක් කා බී සතුටු වී ඉන් තවකෙක් මුදලක් අතට ගන්නවාට ඉරිසියාවෙන් කුපිත වී රටේ නැති බයිලා කියමින් fb දෙවනත් කරවීය.

සමාජ වෙබ් අඩවියෙන් ඔබ්බට ප්‍රායෝගික ජීවිතය තුළද පුරුෂයා තම ආධිපත්‍යය පැතිරවීය. ටියුෂන් හෝ කැම්පස් ප්‍රේමයන් තුළ වෙලී හි එහි උන්මාදය අසීමාන්තික වූ කල්හි  රු.600 කාමර කෑල්ලක් තුළ රමණයක පරමානන්දය විින පෙම් පුවත් සමාජයේ සුලභය. පෙම්වතිය උපන්දා සිට දැඩි ආරක්ෂක රැකවරණ මධ්‍යයයේ රැක බලා ගත් දෑ වෙත address නැතිවෙන්නට වගකියන පෙම්වතුන්, අවසානයේ ලොවෙත් නැතිවන්නේ පෙම්වතියටද යන එන මං නැති කර දමමින්ය. එම පෙම්වතාම මංගල රාත්‍රියේ ජපන් කොඩි ඔසවන්නට හීන මවන්නේ ඉමහත් ආඩම්බරයෙනි. එහෙත් ජපන් කොඩි වෙනුවට උතුරු සලුවක් ලද පසු දෙලොව රත් වී බිරිගේ හත්මුතු පරපුරටම දොස් පවරා ඉරුණු තැන් මහන සැත්කමේ පිහිට පතති.
Bus එකේ වදින jack එකේ සිට රත්නපුර පහරදීම දක්වා නා නා විධ අයුරින් කාන්තාව දූෂණය වෙයි. ඊට එරෙහි වන්නට කොන්ද පණ ඇති කාන්තාවන් අතිශයින් විරලය. එවන් අයෙක් බිහි වුවද සමාජ වෙබ් අඩවි ඔස්තාර්ලා ඔවුන්ගේ තටු කපා දමති. තමන් එළිය දුටුවේ මව්කුසින් බව මිනිසුන්ට අමතක වී ඇත. එය සිහිපත් කර දෙන්නට වෙර දරණ සන්නස්ගල වැනි අයටද රටේ නැති විවේචන එල්ල කිරීමට සමාජය සැදී පැහැදී සිටිති. ධනවාදය සහ තාක්ෂණය එක්ව මිනිස් පරපුර සින්තටික් ඕපපාතිකයන් බවට පත්කර හමාරය.

දළදා වහන්සේ මෙරටට වැඩම කරවීමට හේමමාලා කුමරිය දන්ත කුමරුද කැටුව අපරිමිත කරදර බාධක රැසකට මුහුණ දුන්හ. සඝමින් තෙරණිය නොවැඩියේ නම් ජය ශ්‍රී මහා බෝ සෙවණක් අපට නොමැත.එහෙත් ඈත ගම්මානයේ සිට පැන් දොවා මල් දොවා එන උපාසක අම්මාට උඩමළුව  කිළිය. අසමජ්ජාති තකතීරුකම් කරන දේශපාලුවාට උඩමළුව කැපය.


මෙම සමාජ සංස්කෘතික සෝදා පාළුවේ උඩුගං බලා පිහිනීම කෙසේ වෙතත් එහි පය ගසා රැී සිටීමද අතිශය දුෂ්කරය. කළ හැකි එකම දෙය නම් යකා හිතනවාට වඩා කළු බව අවබෝධ කරගෙන තම ආරක්ෂාව තමන් විසින් සලසා ගැනීම පමණි. කාන්තා පරපුර වෙත ඒ සම්බන්ධව ඇති වගකීම භාරදූරය. හැකිතාක් share කර, හැකිතාක්  comment කර ඔබව වනසන්නට සමාජය දත කට නියවා බලා සිටී. ධනේශ්වර ක්‍රමය තුළ ඔවුන්ගේ ඇරියස් cover කරගැනීමට ඔබ කවුරුන්ද යන වග වැදගත් නැත. මව,දුව,නැගණිය,ආච්චි යැයි කියාගත් සමාජ සබතා ඔවුහු තුට්ටුවකට මායිම් නොකරති. එබැවින් ඉහළ පහළ වැටෙන හුස්ම ඔහේ වැටෙන්නට ඉඩ නොහැර නිවැරදි සිහියෙන් හුස්ම ගන්නට කරන ආරාධනා කරමි. සංවාදයට විවෘතය.