Friday, March 3, 2017

ඒක වැරැද්දක් නෙමෙයි. ඒ ආදරේ හැටි

`ජීවිතේ හැමදාම එකම විදියට තියෙන්නෙ නෑනේ. හැමදේම එකම විදියට අපි එක්ක ඉන්නෙත් නැහැ. ඉස්සො වඩෙත් එහෙමයි. හැලහැප්පීම් , විරාමයන් නැඟීසිටීම් මේ හැමදේම එතනත් තියෙනවා. කෙටි විරාමික නැවතීමකින් අනතුරුව නැවතත් ඉස්සො වඩේ - හුස්ම දිරවන කටගැස්මත් එක්ක කල එළි බහින්නයි සූදානම.

දෙයක් පටන්ගන්න හොඳම තැන ඒ දේ නැවතුන තැන වෙන්න පුළුවන්.ඒත් අද ඉස්සො වඩේ පටන්ගන්න යන්නෙ මේ වෙනකන් මේ තීරුවෙ කතා නොවුන ටිකක් වෙනස් ඒත් සුන්දර තැනකින්. ඒ සුන්දරම තැන තමයි ආදරය.

+ ඒක ඒ තරම් අමාරුද? අපිට ආදරය නොකරන කෙනෙක්ට ආදරය කරන්න

-   ඒක තමා ලෝකයේ තියෙන සුන්දරම හැඟීම

+ කවදාකවත් හිත දුර්වල වෙලා නැද්ද

-   කවදාවත්ම නැහැ

  +   හිමිනොවන ආදරය තරම් බලගතු දෙයක් ලෝකයේ තවත් නැහැ. අනෙක් බැඳීම් වගේ ඒක කොහෙවත් හුවමාරු වෙන්නෙ නැහැ. ඒක මගේ සහ මගේ විතරමයි.මේ වගේ ආදරයකට ඇය මා සමඟ සිටිය යුතුම නැහැ.



මේ චිත්‍රපට දෙබසක්. බොලිවුඩය විතරක් නෙමෙයි ලෝකයම ආදරයෙන් මුසපත් කල චිත්‍රපට නිෂ්පාදකයෙක් වුන කරන් ජොහාර් විසින් අධ්‍යක්ෂණය කල Ae dhil Mushkil චිත්‍රපටියේ එන හිත හිරිවට්ටන දෙබසක්. ඇත්තටම Sharukh Khan මේ විත්‍රපටියේ පෙනී සිටින්නේ මේ දර්ශන වාරයේ පමණයි. නමුත් best romantic dialogues of Bollywood කියලා ඔබ you tube හි type කළොත් දර්ශනය වෙන ලැයිස්තුවේ තැනක මේ video එකත් ඔබට හමුවෙනවා. බොලිවුඩ් සිහින කුමරා වන Sharukh Khan සහ ලොවක් රංගනයෙන් සහ රූපශ්‍රීයෙන් වසඟ කල Aishwarya Rai වගේම Bollywood ඇතුළෙ සෙල්ලක්කාරකම් බොහොමයක් කල Ranbeer Kapoor මේ දර්ශනය තුළ පෙනී සිටින නිසා මෙම clip එක hit වුණා වෙන්න පුළුවන්. නමුත් ඊට එහා ගිය ප්‍රේමයේ  අධ්‍යාත්මික පැතිකඩක් මේ තුළ නිරූපණය වෙන නිසා, මම කියන්න යන කතන්දරයට උඩ ලියපු වචන යම්  පූර්විකාවක් කරගන්න අදහස් කලා.

ආදරය අර්ථ දක්වන විදියක් ගැන මට හිතාගන්න අමාරුයි. මම මෙහෙම කියන්නම්. මේ අකුරු 4 ඔයාට දැනුන ලස්සනම තැන, ඒ සුන්දරම මතකය හරි සිහිනය හරි තියන තැනට ඔයා ඔයාගෙ හිත ඇතුළෙම පොඩි රස්තියාදුවක් ගහන්න.අතීතය, වර්තමානය. අනාගතය වුනත් ප්‍රශ්නයක් නැහැ.

ඒ ලස්සනම මතකයේ හරි හීනයේ හරි ඉඳන් ඉස්සරහට, අපි ආදරය ගැන කතා කරමු.

ජීවිතය ජීවත් කරවන්නෙ බලාපොරාත්තු. ඒ බලාපොරොත්තු වලට හුස්ම දෙන්නෙ ආදරය. හිතට දැනුන ආදරයක් බැඳීමක් එක්ක ආදරයෙන් තනිවෙන්න අපි හැමකෙනෙක්ම වාසනාවන්ත නැහැ.ඒ වගේ ලස්සනම හීනයක් ඇතුළෙ බොහොම සැහැල්ලුවට ජීවිතේ කුරුලු පිහාටුවක් වගේ පාකරන්න තියනවනම්... ජීවිතය කියන්නෙම අන්න ඒකට...

සම්මතයේ විදිය ඒ විදිය වුනත් හිත් උමතු කරවන සුන්දරත්වය ඇතුළෙ විඳවීම් රිදවීම් නැතිවාම නෙමෙයි. බැඳීම්වල අහිමිවීම්වල වේදනාව ඔබ හොඳාකාරයෙන්ම අත්විඳලා තියෙන නිසා මම ඒ ගැන හැඩතල දාලා විස්තර කරන්න යන්නෙ නැහැ. කොහොම වුණත් ජීවිතය ජීවත් කරවපු ආදරයකින් මිදෙනවා, අමතක කරනවා කියන්නෙ අතිශය සංකීර්ණ වුණ ශාරීරික සහ මානසික ව්‍යායාමයක්. ඒ නිසා හිමිවීමක් අයිතියක් නැති වුණත් හැමදාම අපි ඒ ආදරේ එක්ක, මතක එක්ක හිතින් තනිවෙනවා.
ඒ ආදරේ ගැන. මේ concept එක ටිකක් විශේෂීකරණය කරලා කරළියට ගේනවා සැබෑ ආදරය කියලා.




සැබෑ ආදරය ගැන පහුගිය කාලේ නොයෙකුත් මත ඉදිරිපත් වුනා. ඒ ඉදිරිපත් වුන මත අතරෙ, සුලභව ඇහුන දෙයක් තමා සැබෑ ආදරය කියන්නෙ අතහැරීම. එහෙමත් නැත්නම් පරිත්‍යාගය කියන මතය. සුනිල් එදිරිසිංහ මහතා ගායනය කරන, හුලවාලි චිත්‍රපටයේ එන කුඩා ගමේ මද්දහනේ ගීතයේ මේ කාරණය අපූරුවට විස්තර වෙනවා.

ආල වඩන අකුරු‍ පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිදුන දා කුමටද කඳුළු හෙලනු සකි
ආල වඩන යන තේරුම බෝසත්කම සකි

කතාවෙ හැටියට ඔහුගේ බිරිඳ ඔහුව හැරයනවා. යන්නෙ ඔහු ඇයව සරසන්න රිදී පොටක් අරන් එන්න ඈත ගම් පළාතකට යන අතරවාරෙ. මේ හිත් කම්පනය කරවන විරහ වේදනාව, කලාකරුවා ඉතා විචිත්‍රවත් වූ ප්‍රේමණීය ප්‍රකාශනයක් බවට පත්කරනවා. ආදරය කියන මේ තේරවිල්ල ලිහා ගන්න රෑට තනි පැදුරෙ නිදන තනිකඩ හිතකට පුළුවන්කමක් නැහැ.ඒවගේම ආදරය කියන්නෙම බෝසත්කම නිසා ආදරය බිඳුණු කාලයක හඬා දොඩා පලක් නොවන වග මේ ගීත රචකයා අපිට පසක් කරනවා.

බෝධිසත්වයෙක් කියන්නෙ සියළු බැඳීම් අත්හල අයෙක්. අපි වගේ පෘථග්ජනයන්ට, බැඳීම් අත්හරින එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. දිගුකාලීන අවබෝධයක්, තේරුම් ගැනීමක්, අදහාගත නොහැකි ඉවසීමක් වගේම ඔබවම මවිත කරවන දරාගැනීමක් ඔබ තුළ පවතින්න ඕන. ආදරය බෝසත්කමට අංගසම කරන්න පුළුවන් වෙන්නෙ මේ සියල්ලෙන් පරිපූර්ණ පෘථග්ජන හිතකට විතරයි.

අන්න ඒ නිසාමප්‍රේමවන්තයෙක්ට බෝධිසත්වයෙක් වෙන්න අමාරුයි. කොයිතරම් එහෙම වෙනවා කියලා හිතුවත්හිතක් වෙනුවෙන් ඇතිවන හිමිකාරිත්වය මගේ කියන හැගීමඅයිතිකාරකමආත්මාර්ථයකොහෙන්මහරි මතු වෙනවා.අන්න එතනදි තමා ආදරය කරන හිත් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ආදරේ පස්සෙ ලුහුබදින්නෙ.හඩා වැටෙන්නෙ. ඒක වැරැද්දක් නෙමෙයි. ඒ ආදරේ හැටි. කොටින්ම ඔවුන්ට තමන්ගෙ ආදරය දැනෙන හැටි. බොහෝ දෙනා කාලයත් එක්ක මේ අප්‍රමාණ විඳවීමෙන් ගොඩ එනවා. නමුත් සමහරු ජීවිතය පුරාවට ප්‍රේමණීය මතක එක්ක විදවනවා.







ආදරය කියන සංකල්පය දිහා බාහිරින් බලල නොයෙක් දෙනාට නොයෙක් අර්ථකථන දෙන්න පුළුවන්. ඒ වුණත් මේකෙ සංකීර්ණ බව දන්නෙ මේ subject එක ඇතුළෙ විඳින්න පුළුවන් උපරිමේ විඳපු ඒ වගේම අම්බානෙක charter වෙලා, පදම් වෙලා, රස්තියාදු වෙච්ච හිත් විතරයි. එහෙම හිතකට පුළුවන් වෙයි ආදරය පරිත්‍යාගයක්ද හිමිකරගැනීමක්ද කියන පටලැවිල්ල ලිහල දෙන්න. නමුත් හැඟීම් කියන දෙය, ආදරය, අපි අපිට දැනෙන විදිය අතිශයින්ම සාපේක්ෂයි. ඒ නිසා අවසානයේ මෙය සිදුවිය යුත්තේ මේ ලෙස යැයි කියා ආදරණීය විද්‍යාත්මක නිගමනයකට එන්න අපිට හැකියාවක් නැහැ. එහෙම අවශ්‍යත් නැහැ.

ඒ නිසා ඔබට තියෙන්නෙ ආදරය කරන්න, පොතේ විදියට නෙමෙයි, ඔබේ විදියට….

එහි ප්‍රතිඵලය, සමහර විට ඔබ සැබෑ ආදරය විඳින ප්‍රේමවන්තයෙක් හෝ ප්‍රේමවනත්තියක්. එහෙම නැත්නම් අත් හැරීම පරිත්‍යාගය පුරුදු කල බෝධිසත්වයෙක්. මේ කොහොම වුනත් අවසානයේ ඔබ ආදරය ප්‍රේමය වින්දනය කල ආදරණීය මනුෂ්‍යයෙක්.

ආදරෙන් ඉන්න. ගිහින් එන්නම්. නැවත හමුවෙමු.


-චරිත් ගුණරත්න-

Monday, February 13, 2017

පෙබරවාරි 14 - පිළිවෙතින් පෙළ ගැසෙමු

පෙබරවාරි 14, එහෙම නැත්නම් ආදරවන්තයන්ගේ දිනය ගැන සමහරු නම් කියන්නෙ ඉතින් අපිට ගානක්වත් නෑනේ කියලා. තව සමහරු දත කට මැදගෙන ඉන්නෙ පෙම්වතා පෙම්වතියව surprise කරන්න. කොහොම වුණත් වෙලාවකට හිතෙනවා ආදරවන්තයන්ගේ දිනය කියන්නෙ සමාජය ඇතුළෙ සෑහෙන අබ්ලික් වෙලා තියන concept එකක් ද කියලා. මේ ගැන කතාකරන්නත් එක්ක ඉස්සො වඩේ ඇතුළෙ, අද අපේ කටගැස්ම වැලන්ටයින්. එහෙම නැත්නම් ආදරවන්තයන්ගේ දිනය

වැඩිහිටි,ගුරු,පරිසර,ජල,ඒඩ්ස්,අම්මාවරුන්ගේ දිනය,පියවරුන්ගේ දිනය,නිදහස,අළුත් අවුරුදු,තැලසීමියා නිවාරණ,දියවැඩියා නිවාරණ,තරුණ ආදී වශයෙන් එකී මෙකී නොකී නොයෙක් අරමුණු සහ පිරිස් උදෙසා දින ගණනාවක් කැලැන්ඩරය ඇතුළෙ නම් වෙලා තියෙනවා.පොඩි අවුලකට තියෙන්නෙ මේ කිසිම දිනයකට නැති විවේචනයක් සමාජය විසින්ම ආදරවන්තයන්ගේ දිනයට එල්ලවෙන එක.



මිනිසා මව්කුසින් එළිය දුටු දවසෙ ඉඳලා අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන මොහොත වෙනකන්ම නොනවත්වාම ආදරය කරනවා. ජීවිතේ අපි දකින බලාපොරොත්තු ආදරයෙන් පුරවගෙන ඒ ආදරණීය බලාපොරොත්තු එක්ක හුස්ම ගන්න අපි කැමතියි. මේ තරම් සුන්දර වූත් ආදරණීය වූත් හැඟීමක් ගැන කතාවෙන්න හැදිලා තියන දවසෙ වර්තමානයේ සිද්ධ වෙන්නෙ පැල් බැඳගෙන ආදරයටයි ආදරය කරන උන්ටයි පහර ගහන එක.


ආදරවන්තයන්ගේ දිනයට පහරක් වදින්නෙ අන්ත කීපයකින්. එක logic එකක් තමයි ආදරය එක් දිනකට පමණක් සීමා නොවිය යුතු යැයි පිරිසක් පැවසීම. අනික තමයි ලංකාවට ආවේණික දිනයක් නොවීම. තව එකක් තමයි ආදරය විකිණෙන දවසක් වීම.


ආදරවන්තයන්ට දිනයක් අවශ්‍ය නැහැ. එක දිනයකට ආදරය කොටු විය යුතු නැහැ කියන්නෙ අපිට ඇසෙන පොදු කාරණාවක්. ආදරවන්තයන්ට දිනයක් නිර්මාණය වුනා කියන්නෙ ඒ දිනයට විතරක් ආදරය කරන්න ඕන කියන එක නෙමෙයි. හිතන්න අපි උපන්දිනය දවසෙ උපන්දිනය සමරනවා කියන්නෙ එදාට විතරක් ජීවත් වෙලා ඉතුරු දවස් 364 ඇතුළෙ නිද්‍රාවට පත්වෙනවා කියන එක නෙමෙයිනෙ. හැමදවසක්ම සාමාන්‍ය ආකාරයට ගතවෙනවා.නමුත් උපන්දිනය සුවිශේෂී සැමරුම් දිනයක්. ආදරවන්තයන්ගේ දිනයත් එක්තරා සැමරුමක්. මෙහි මූලාශ්‍රය වන්නෙත් එදා ක්ලෝඩියස් අධිරාජ්‍යයාට එරෙහිව ආදරය වෙනුවෙන් හඬ නැඟීමේ වරදට සිරබත් වුනු වැලන්ටයින් සාමිවරයාව සිහිකිරීම. ආදරවන්තයන්ගේ දිනය දවසෙ පෙම්වතෙක් පෙම්වතියක් අතරෙ හුවමාරු වන සැමරුම් පතක්, කෙටි පණිවිඩයක්,රෝස මලක් මේ හැමදේම ආදරණීය මතක සිහිවටන.මේ වගේ දෙයකින් ආදරය සැමරුවා කියල ඒ ආත්මීය බැඳීම තවත් හිතේ දළුලනවා මිසක් අඩුවක් නම් වෙන්නෙ නැහැ. එක දවසකට ආදරය කොටු වෙන්නෙත් නැහැ.



අනිත් තර්කය තමයි මෙය විජාතික සංකල්පයක් වීම. 2500 සංස්කෘතියෙන් ඔළුව උදුම්මගත්ත අපේ සමාජයට අනුව මේ logic එක මතුවෙන එක සාධාරණයි. වැලන්ටයින් අපේ නොවන බව ඇත්ත. නමුත් ආදරවන්තයන්ගේ දිනය දවසෙ පෙම්වතිය meet වෙන එකෙන් වෙන සමාජ සංස්කෘතික පරිහානිය මොකද්ද කියන එක නම් දැවෙන ප්‍රශ්නයක්.
“Marketing. අනිත් logic එක.ආදරවන්තයන්ගේ දිනය කියන්නෙ ආදරය විකිණෙන දවසක්.ආදරය පූජනීයයි. විකිණෙන්න ඕන දෙයක් නෙමෙයි…


සමාජවාදයයි ධනේශ්වරයයි හත්පොළේ ගාගෙන රඟදෙන උදවියගෙන් මේ වගේ තර්කයක් බලාපොරොත්තු වීම සාධාරණයි. අපි මෙහෙම හිතමු. මේ ලෝකෙ විකිණෙන් නැති දේවල් මොනවාද? අම්මාගේ ආදරේ ඉඳන් පොළොවට පස් වෙන පෙට්ටිය වෙනකන්ම අපි ඇතුළු හැමදේම නොයෙක් ආකාරයෙන් විකිණෙනවා. කොටුවේ pavement එකේ තට්ටුවක, තොරොම්බල් කඩේක valentine item 2-3ක් විකිණෙන එක ආදරය විකිණීමට සමාන කරනවනම් අපි සමාජයක් විදියට ඉන්නෙ ගොඩක් පසුපසින්.


Marketing වලදි මිනිස්සු තමන්ගෙ භාණ්ඩ හා සේවා විකුණාගන්න නානාප්‍රකාරයේ වෙළඳ උපක්‍රම භාවිතා කරනවා. වැලන්ටයින් විතරක් නෙමෙයි. සිංහල අවුරුද්ද, නත්තල වගේ උත්සව කාල වලදී ඒ ඒ පාරිභෝගික ඒකක ඉලක්ක කරලා marketing campaigns ක්‍රියාත්මක වෙනවා. ජිවිතේ පළවෙනි වතාවට ඇඳුම් අඳිනවා වගේ කොළඹ කිරිබත්ගොඩ ඇඳුම් කඩවල රස්තියාදු වෙන ජීවිත අපට පෙන්නන්නෙ ඒ campaign වල සාර්ථකත්වය. ඒ වෙලාවල් වලදි නත්තල විකුණන් කනවා, අවුරුද්ද විකුණන් කනවා නොකියා, හන්දි ගානේ ඇඳුම් කඩවල රස්තියාදු වෙන මිනිස්සුම, ආදරවන්තයන්ගේ දිනය විතරක් 14 වෙනිදාට විකිණෙනවා කියනවා.


මෙතන තියෙන්නෙ සම්පූර්ණයෙන් පරස්පර සංසිද්ධී 2ක්. කෙනෙක් විකුණන පමණින් එතන විකිණෙන්න අපිට ඕන නැහැ. ඔවුන් තමන්ගේ භාණ්ඩ හා සේවා market කරගනීවි. අපිට තියෙන්නෙ අපේ විදියට අපේ ආදරය පවත්වාගෙන යන්න.

ඇත්තටම මෙතන marketing, cultural concept එකක් උඩ දාගෙන යටින් දුවන්නෙ මිනිස්සුන්ගෙ ඔළුවල යටිහිත්වල මතුවෙන ඊර්ෂ්‍යාව, කුහකකම වගේ ඕජස් ගලන සිතුවිලි. තව කෙනෙක් ආදරය කල යුතුද නැද්ද, එය විඳිය යුතුද නැද්ද යන්න තීරණය කිරිමේ අයිතිය තුන්වන පාර්ශ්වයකට නැහැ. ඒක ඔවුන්ගේ නිදහස. වර්තමාන ලෝකෙ යම් ප්‍රශ්නයක් ඇතිවෙලා තියනවා නම් ඒකට හේතුව ආදරය, ප්‍රේමය වගේ මානුෂීය හැඟීම් මිනිස් සිත් වලින් ඈත්වෙලා ඊර්ෂ්‍යාව, කුහකකම වගේ සිතුවිලි හිත් වලට ළං වීම. අපි කරන්න ඕන ඒ හැඟීම් තවත් වලපල්ලට යවන් නැතුව ආදරය ප්‍රේමය ඉපදෙන තැන්වලට වැඩි වැඩියෙන් ප්‍රේම කිරීම.


ආදරය කරන අයියල අක්කල නංගිල මල්ලිලත් මතක තියාගතයුතු යමක් තියෙනවා. ආදරේ සමරනවා කියන්නෙ tution class කට් කරල ගිහින් 600 රූම් ඇතුළෙ ලගින එකවත්, beach වල park වල අගුපිල්වල ලගින එකවත් නෙමේ විත්තිය.සැබෑ ආදරය කියන්නෙ ඊට වඩා එහා ගිය ආත්මීය හැඟීම් ප්‍රකාශනයකට.


ආදරය කරන්න පුළුවන් පෙම්වතාට පෙම්වතියට විතරද? අපිට ඊට වඩා පුළුල් තැනකින් මේ ආදරේ දිහා බලන්න බැරිද? ආදරය කරන්න, ආදරය විඳින්න අළුත් මානයක් හොයන් යන්න බැරිද? ආදරවන්තයන්ගේ දවසෙ ඇතුළෙ ආදරේ ඇරෙන්න අපිට කතාකරන්න දේවල් නැද්ද?
අපි ඒ ගැන ඉස්සො වඩේ තුළින් කතාකරන්න සූදානම්. ගිහින් එන්නම්... ආදරෙන් ඉන්න.


-චරිත් ගුණරත්න-


Sunday, June 19, 2016

කවුරුත් නැතුව 4 - පැටලෙන්නෙ නැතුව ගොඩඑන්න. ආදරය or අනුකම්පාව....

පැටලෙන්නෙ නැතුව ගොඩඑන්න. ආදරය or අනුකම්පාව....

ඉස්සො වඩේ රහ ඇඟට හිතට වද්දගන්න යාළුවො සේරටම ආයුබෝවන්...! hi..! Salaam!! වනක්කම්...!!


පොර ටෝක්ස් ටිකත් පොදි බැඳගෙන ඔන්න අදත් හිත් අස්සෙ කටු අනින්නයි සූදානම.
පටන් ගමු..!
ඉස්සො වඩේ...!! කවුරුත් නැතුව 4
අද මගේ හෙඩින් එක පැටලෙන්නෙ නැතුව ගොඩඑන්න, ආදරය or අනුකම්පාව. මෙතන පැහැදිලිව අපිට වචන 4ක් පේනවා. ඉස්සරහට ලියන් යන්න නම් මට මේ වචන 4, මගේ ක්‍රමයට අර්ථකථනයන් කරගන්න වෙනවා.

  1.     ආදරය - ආදරය කිව්ව ගමන් මොනාහරි මතක් වුණාද? මතක් වෙනවද?
අන්න ඒක තමා ආදරය. එපමණයි. සදා විශ්වාසයි

   2.     අනුකම්පාව - කම්පාව කියන්නෙ සිත් තැවුල. අනුකම්පාව කියන්නෙ අනුන්ගෙ දුකේදි/ කරදරයකදි සිත් තැවුලට පත්වීම.

   3.     පැටලෙන්න - නූල් බෝලයක් පැටලෙන්නෙ නූල් බෝලයක් ඇතුළෙමයි. ඒත් වැලක් සමහරවිට තවත් වැලක හෝ ගහක පැටලෙන්න පුළුවන්. පැටලීම සාපේක්ෂයි. එක්කො තමන් කේන්ද්‍ර කරන් පැටලෙනවා. නැත්නම් බාහිර පාර්ශ්වයක් කේන්ද්‍ර කරගෙන පැටලෙනවා. කොහොම පැටලුනත් පැටලිල්ල පැටලිල්ලමයි.

   4.     ගොඩඑන්න - සරලයි! ගොඩඑන්න..

වචන ටික ගොඩදාගත්තට පස්සෙ අපි බලනවා මොකද්ද මේ රට පැටලෙන scenario එක කියලා. ආදරයයි අනුකම්පාවයි කියන්නෙ හිත් රැවටෙන හිත් පැටලෙන හිත් කිතිකවන බරපතල concepts දෙකක්. මේක අංශුමාත්‍රයීය ඝනකමින් යුත් හීන් නූලකින් වෙන්කරල දෙපැත්තට කරපු විෂය පථ දෙකක්. මේ සංකීර්ණ සිතුවිලි පරාස දෙක මේ තරම් අපේ ජීවිත වලට බලපෑම් කරන්නෙ කොහොමද?






මේ ප්‍රශ්නය අපිට පැති කිහිපයකින් විස්තර කරගන්න පුළුවන්. හිතන්න දෙන්නෙක් ආදරය කරල මොනාහරි හේතුවක් නිසා වෙන් වෙනවා. අපි හිතමු දෙන්නගෙ නොගැළපීමක් නිසා අවබෝධයෙන්ම දෙපැත්තට වුණා කියල. මෙහෙම වෙන් වුණාට එක් පාර්ශ්වයක්, අපි හිතමු පෙම්වතාට මේ විදියට තනිවෙලා ඉන්න බැහැ.ඒ නිසා ඔහු නැවතත් පෙම්වතිය එක්ක කතාබහ කරන්න ආස්‍රය කරන්න උත්සාහ කරනවා. අසීමිතව අතීතය ගැන පසුතැවෙනවා. සිදුවුන දේවල් ගැන දුක් වෙනවා. සමහරවිට සියදිවි නසාගැනීමකට වගේ තැත් කරන්න වුණත් බැරි නැහැ. දෙවෙනි පාර්ශ්වය, ඒ කියන්නෙ පෙම්වතිය යථාර්ථය තේරුම් අරන් හිටියත් මේ වගේ සිදුවන දේවල් නිසා එයා පව් මොනවා කරගනීද දන් නෑ වගේ එකක් හිතේ මවාගන්නවා.
සිදුවන ක්‍රියා පටිපාටින් එක්ක මේ අනුකම්පාව, ආදරයට අනුලෝමව සමානුපාතික වෙලා නැවතත් ප්‍රේමය තිබුණු තත්ත්වයටම එනවා.

දැන් හිතන්න ඒ දෙන්නා වෙන් වුණේ යම්කිසි නොගැළපීමක් නිසා නම් (අවබෝධාත්මක නොගැළපීමක්) වෙන් වෙන්න හිතුව තීරණෙන් දැන් ඵලක් නැහැ නේද?

දැන් ඔබ කියාවි ආදරය කියන්නෙ ඒකට, හැලහැප්පීම්, වෙනස්වීම් එක්කල ඉස්සරහට යන එකට කියලා. ඒක හරි. ඒත් මේ බැඳීම දිගු කාලයක් පවත්වාගෙන යන්න බැහැ කියන Point එකට එක මොහොතකදි ආව නිසා නේද මේ දෙන්නා වෙන්වුණේ? එහෙම තැනකට හිත හදාගෙන affair  එකක් නවත්වන්න පුළුවන් නම්..., ඒ සිතුවිල්ල එහෙම්ම කණපිට ගස්සන්න අනුකම්පාව කියන සිතුවිල්ලටත් පුළුවන්. එතකොට කවුරුත් නැතුව ඉන්නවා කියල හරි affair  එක නවත්තනවා කියල හරි ගත්ත decision එක ඇතුළෙ මේ දෙන්නම fail. ඒවගේම මුලින් මේ දෙන්නා ආදරෙන් ළංවුණාට දෙවෙනි පාර ළංවෙන්නෙ ආදරේට නෙමෙයි. එක් පාර්ශ්වයක් ගැන ඇතිවුන අනුකම්පාවට.

ආදරයට පැවැත්මක් තිබ්බට අනුකම්පාව + ආදරයට පැවැත්මක් තියෙනවනද කියන එක අපි හිතන්න ඕන කාරණයක්. ඒක නිකන් magnet එකක එක සමාන අග්‍ර දෙකක් එකට ළංකරනවා වගේ. එකතුවෙන්න වගේ ඇවිත් විකර්ශනය වෙනවා.

මේ scenario එක ඇතුළෙම උපකුලකයක් කියල හිතන්න පුළුවන් තව scenario එකක් මම මේ විදියට create කරනවා. හිතන්න, කෙනෙක් එයාගෙ හිත ගිය කෙල්ලට full try කරනවා. ඒත් කෙල්ලගෙ හිතේ ඒ තරම් කැමැත්තක් නැහැ කියල හිතමු. ඒත් තමන්ගෙ ආදරය කියල හිතෙන මේ කෙල්ල එක්කම යාළු වෙන්න අර කොල්ලා නොකරන දෙයක් නැහැ.

කොල්ලා මේ විදියට වාත වෙද්දි මේ ගැහැණු ළමයා කොයිතරම් අකමැති වුණත්, ආදරයක් හිතේ මේරුවෙ නැති වුණත්,  අනේ එයා පව්නේ, මේ තරම් පස්සෙන් එද්දි මම අහක බලන් මඟ අරින්නෙ කොහොමද? කියල හිතල කැමැත්ත ප්‍රකාශ කරනවා.

එතෙන්දි අපි ගැහැණු ළමයාගෙන් ඇහුවොත් ඇයි මේ කොල්ලා එක්ක යාළු වුණේ කියල උත්තරේ තමා පස්සෙන් එද්දි පව් කියල හිතුනා කියන එක.

මෙහෙම පටන් ගැනෙන affair එකක් කල් ගතවෙද්දි දෙන්නාගේ හැඟීම් අවබෝධ කරගෙන සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ආදරයක් හිතේ ජනිත නොවුණු පාර්ශ්වයට කාලයක් යද්දි දැන් මේක ඇති වගේ දෙයක් හිතෙන්නත් පුළුවන්.

අනුකම්පාව කියන්නෙ උදාර මානුෂීය සිතුවිල්ලක්. ඒකෙන් මිදෙනවා කියන්නෙ අපි ඉතාම කුහක සිත් ඇති මිනිසුන් පිරිසක් බවට පත්වෙනවා කියන එක. කාටහරි කරදරයක් හිරිහැරයක් වුණාම තරාතිරම බලන්නෙ නැතුව පිහිට වෙන්න අපි ඉදිරිපත් වෙන්නෙ ඉතාම උනන්දුවෙන්. ගංවතුරක් නායයාමක් වුණාම supermarket වල රාක්ක හිස්වෙන, දැන් ආධාර ගෙනාවා ඇති කියල මාධ්‍යයෙන් නිවේදන නිකුත් කරන රටක් ලෝකෙ වෙන කොහෙවත්ම නැතුව ඇති. ඒ තමා අපේ හිත්වල මතුවුන අනුකම්පාව. අපේ රටේ මිනිස්සු හරි වෙනස් වුණේ අන්න ඒ නිසා.

ඒත් මේ අනුකම්පාවයි ආදරයයි පටලවා ගත්තොත් අපිට මුහුන දෙන්න වෙන ප්‍රශ්නවල බරපතලකම වැඩියි. ආදරය ඇතුළෙ අනුකම්පාව තියෙන්න ඕන. ඒත් අනුකම්පාව නිසා ආදරයක් ඇතිවීම තාත්ත්වික නැහැ.

ඔබටත් විවෘතයි මේ සංවාදය!!
ඔබේ අදහස් පහළින් ලියන්න. 
නැත්නම් මගේ facebook බිත්තියේ..(Chari’th Gunarathna)
inbox කරත් ප්‍රශ්නයක් නැහැ.
එහෙනම් ගිහින් එන්නම්. ආයි හම්බෙමු.


Saturday, May 28, 2016

කවුරුත් නැතුව 3 - හැමදේම ලැබිලා ඇයි ඔයාව විතරක් නොලැබුණේ?

කවුරුත් නැතුව 3 - හැමදේම ලැබිලා ඇයි ඔයාව විතරක් නොලැබුණේ?

කවුරුත් නැතුව 2 - බැඳීම් වල life cycle එක කියවපු ගොඩක් දෙනෙක්ගෙන් එල්ල වුනේ බොහොම ආදරණීය විවේචන.

ඕවා ලිව්වට කරන්න ලේසි නැහැ, ප්‍රායෝගික නැහැ

ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් කිව්වට අයිතිකරගැනීම කියන එක හිත් වලින් ඈත් කරන්න අමාරුයි. කලාතුරකින් කෙනෙක්ට තමා එහෙම හිතෙන්න පුළුවන්

මේ වගේ ගොඩක් දේවල්. මේ හැමදේටම ඉස්සරහට යද්දි උත්තර හම්බෙනවා කියල විතරක් මම කියන්නම්. එහෙම කියල අද කවුරුත් නැතුව පටන් ගමු.

කලින් අපි කතා වුණේ බැඳීම් ගැන අද මං කතා කරන්නෙ ලැබීම් ගැන. කවුරුත් නැතුව අපිට තනිවෙන්න වෙන්නෙත්, කාත් එක්ක හරි සතුටින් ඉන්න ලැබෙන්නෙත් අපේ ලැබීම, නොලැබීම නිසානෙ.

අපි මෙහෙම පටන් ගමු. මේ අකුරු කියවන ඔබ ටිකක් බලන්න මේ වෙලාවෙ ඔයාගෙ වටේ තියෙන්නෙ මොනාද කියලා. සමහරවිට ඔයා ළඟ lap එකක් ඇති. නැත්නම් smartphone එකක්. නොතෙමී ඉන්න හිසට උඩින් සෙවණක් ඇති.මේ වගේ එකී මෙකී නොකී දාහක් දේවල් ඇති.


නොලැබුණ දේවල් ගැන බලන්න, හිතන්න කලින් අපි හිතමුද අපිට ලැබුණ වටිනාම දේ මොකද්ද කියලා. හිතන්න අපිට ලැබුණ වටිනාම දේ තමා මිනිස් ජීවිතය. අපිත් මිනිස්සු හින්දා අපිට ඒකෙ ලොකු වටිනාකමක් තේරෙන් නෑ. නමුත් මනුෂ්‍ය කියන්නෙ මනසින් උසස්, හැඟීම් දැනීම් වටහාගන්න ලෝකයේ බිහිවුණු උසස්ම සත්ත්ව කොට්ඨාශයක්. මනුෂ්‍ය ජීවිතයක් ලැබුන නිසා තමා අපිට ගොඩක් දේවල් විඳින්න විඳගන්න අවස්ථාව ලැබුණෙ.

මනුෂ්‍යත්වය කියන fantasyමය සාධකයෙන් අඩු වැඩි විදියට පරිපූර්ණව නිර්මාණය වුණු අපේ ජීවිත තම තමන්ගෙ අවශ්‍යතා අනුව බොහෝ දේ හඹා ගියා. ඔස්ලෝ කියන සමාජ විද්‍යාඥයා අවශ්‍යතා පිරමීඩයක් මඟින් මේ සංසිද්ධීය අපූරුවට පැහැදිලි කලා. මේ පිරමීඩෙ පහළින්ම තියෙන්නෙ අපේ මූලික අවශ්‍යතා.ආහාර, නිවාස,වාතය, නින්ද, උණුසුම වගේ දේවල්. මේ අවශ්‍යතා එකින් එක සපුරගෙන අපි පිරමිඩෙ උඩටම යද්දි අපිට හම්බෙනවා ආරක්ෂාව, ආදරය, ජයග්‍රනය,පිළිගැනීම,respect එක වගේ අවශ්‍යතා. පිරමිඩෙ උඩම තියෙන්නෙ self-actualization කියල එකක්. ඒක තමා මිනිසුන්ගෙ අවශ්‍යතාවල peak එක. එතනින් එහාට අපිට හඔා යන්න දෙයක් නැහැ.

මස්ලෝගෙ theory එක අනුව අපි ගොඩක් දෙනෙක් අයිති වෙන්නෙ මේ පිරමිඩ් එකේ පහළ ස්තර වලට. අපේ ජීවිත ලැබීම් නොලැබීම් වලින් පිරිලා. ලැබීම් වලදි සතුටු වුණ ගොඩක් අය නොලැබීම් වලදි සෑහෙන්න වැටෙනවා. අපි ජීවිතෙන් පෙරළා ප්‍රශ්න කරන්නෙ හැමදේම ලැබිලා ඇයි එක දෙයක් විතරක් නොලැබුණේ කියලා.

අපි හිතන පතන හැමදේම අපිට ඒ විදියටම ලැබෙනවා අඩුයි. කිරල මැනල පෙරිලා ලැබෙන ටිකෙන් තමා ගේමක් ගහන්න වෙන්නෙ. ඒ නිසා අපි ජීවිතෙන් හැමදේම positive විදියට positive දේවල්ම බලාපොරොත්තු වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙමේ.

එහෙනම් කොහොමද අපි අපෙන් ඈත්වුණු දෙයක් දිහා බලාගෙන හිත හදාගන්නෙ?

මේ වෙලාවල් වලදි අපි පොඩි ideological monopoly එකක් මවාගන්නවා අපෙන් ඈත්වුන දේ තමා ලෝකෙ මේ මොහොතේ තියන වැදගත්ම සහ අත්‍යාවශ්‍යම දේ කියලා. mindset එක ඇතුළෙ ඉඳන් අපි ඒ ගැන අසීමිතව හිතනවා. දුක් වෙනවා. අපි විසින්ම අපිට උරුම වුන බොහොමයක් දේවල් මඟහැරලා අහිමි වුන දේ ගැන කල්පනා කරනවා.

එක්තරා රාජ්‍යයක හිටපු ගොවියෙක් ඉතාම සතුටින් ජීවත් වුණා. මේක දැනගත්ත මේ රටේ රජතුමාට තමන්ගෙ රටේ පුරවැසියෙක් තමන්ට වඩා සතුටින් ජීවත් වෙන එකට ඉරිසියා හිතුනා. රජතුමා මහඇමති ඇතුළු පුරෝහිතයින්ට කිව්වා මේ මනුස්සයගෙ සතුට නැතිවෙන විදියෙ දෙයක් කරන්න කියලා. ඇමතිවරු දවසක් රෑක මේ ගොවියගෙ වත්තට රන්කාසි 99 ක් ගිහින් දැම්මා. උදේ නැගිටලා බලද්දි රන්කාසි තොගයක් මිදුලෙ තියනවා දැක්ක ගොවියා කාසි සේරම ගණන් කළා. කාසි 99ක් තියනවා දැනගත්ත ගොවියා ආයි මුල ඉඳන් ගණන් කළා. ඔහු හිතුවා කිසි කෙනෙක් කාසි 99 ක් දාලා යන්නෙ නෑ, අනිත් කාසිය ඔහුට මඟඇරිලා ඇති කියලා. ඔහු හිතුවා කවුරුහරි මේ කාසිය හොරකම් කරන්න ඇති කියලා. වෙන හැම වැඩක්ම පැත්තකින් තියලා ඔහු ජීවිත කාලෙම කළේ මේ කාසිය හොයන එක.ඒත් කොයිතරම් ගණන් කළත් සෙව්වත් ඔහුට ඒ කාසිය හොයාගන්න පුළුවන් වුණේ නැහැ. එතනින් එහාට ජීවිතේ එක තත්පරයක් වත් මේ ගොවියා සතුටින් ජීවත් වුණේ නැහැ.

හිතන්න ඔබත් මේ 99 කණ්ඩායමේ සාමාජිකයෙක්ද? දැන් ඔබ මාත් එක්ක තර්ක කරාවි රන් කාසියක් අහිමි වීමයි, සංසාරගත බැඳීමක දෙදරා යාමයි සම කරන්න බැහැ කියලා. ඔව් ඒත් පොදු සංසිද්ධීය අනුව මේ හැමදෙයක්ම අහිමිවීම්. හැඟීමට වඩා බුද්ධීයට ඉඩ දෙන්නෙ කොහොමද කියන එක අපි තවත් දවසක කතා කරමු.
ලෝකෙ හැමදේකම balance එකක් තියෙන්න ඕන. හැමදේම ඔයා හිතන විදියටම වෙලා ආස කරන හැමදේම ලැබුණොත් එතෙන්දි ඒ balance එක නැතිවෙලා. සමහරවිට ඔයාට ඒ දේවල් ලැබෙන්න කල් යනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලැබෙන්න ඕන නැති දෙයක් වෙන්නත් පුළුවන්.


 හොයලා බලන්න හැමදේම හිතන විදියටම වුන කෙනෙක් මේ ලෝකෙ කොහේහරි ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් ඒක ගිනස් පොතෙත් උඩින්ම ලියවෙන්න ඕන දෙයක්.  

කරන්න තියෙන්නෙ ලැබුන ගොඩක් දේවල් ගැන සතුටු වෙන එක. ජීවිතය ඔයාට අඬන්න හේතු සියයක් පෙන්වද්දි ඔයා ලෝකෙට පෙන්වන්න හිනාවෙන්න හේතු දාහක් තියෙන විත්තිය. හැම කඩාවැටීමක් ළඟදිම ඔළුව කෙළින් තියන් හිනාවෙලා හැමදේම භාරගන්න ready වෙලා ඉන්න.

අද කවුරුත් නැතුව ඉවර කරන්නෙ මහාචාර්ය ගංගානාත් දිසානායක ඔහුගේ පැණි වළලු පොතේ අම්මා කියන පරිච්ඡේදය ඇතුළෙ සටහන් කරන වචන කිහිපයකින්. ලැබුන නොලැබුන දේවල් ජීවිතේ අපි භාරගන්න විදිය ගැන හිත කීරි ගස්සන පාඩමක් මේ අකුරු අපිට කියල දෙනවා.

මේක කියවන ඔබ නොලැබුන හුඟක් දේවල් ගැන දුක් මහන්සි වෙනවා ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතුව ඇති. මට නම් ජීවිතේ හුඟක් දේවල් ලැබුනා. රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාළිගාවටත් වඩා ලොකු ලස්සන මාළිගාවක් වගේ ගේක ජීවත් වෙන්න ලැබුනා. ඒත් මට එකක් ලැබුණ් නෑ. ඒක ආයෙ ලබන්නත් බැහැ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබලා ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහුවොත් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියලා? ඔබ ලක්ෂපති. මම හිඟන්නෙක්... 



Monday, May 23, 2016

කවුරුත් නැතුව 2 - බැඳීමක life cycle එක තේරුම් ගමු

කවුරුත් නැතුව 2 -  බැඳීමක life cycle එක තේරුම් ගමු

බැඳීම් වලට අපි ජීවිතේ ලබාදෙන්නෙ ලොකු ඉඩක්. සමහරු බැඳීම් වලට නොසෑහෙන්න වහල් වෙලා ඉන්නවා. බොහොම අතළොස්සක් තමයි උන්නත් දාහයි මළත් දාහයි කියල පැත්තකට වෙලා ඉන්නෙ. එහෙම ඉන්න අයගෙත් හිත් වල කොනක හරි බැඳීමක සේයාවක් ගෑවිලා නැතුව ම නෙමෙයි.

කොහොම වුණත් සෝවාන් වගේ මාර්ගඵලයක් ලැබුව කෙනෙක් ඇරෙන්න පෘථග්ජන පුද්ගලයෙක්ට බැඳීම් වලින් මිදෙන්න අමාරුයි.
එහෙම නම් බැඳීම් අතහැරලා ඇත්තටම අපිට ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන් නම් එහෙම ඉන්නෙ කොහොමද?


බැඳීමක් ඇතිවෙන්නෙ යම් දෙයකට හෝ කෙනෙක්ට අපි අසීමිතව ළංවෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කෙනෙක් අපිට ළං කරගන්න ඕන.
ඔය කියන මූලික ක්‍රියාවලිය තමයි බැඳීමක් සම්බන්ධතාවයක් විදියට අපේ හිත් වල නිර්මාණය වෙන්නෙ. ඒ විදියට නිර්මාණය වෙන relationship එකක් නොයෙක් හැලහැප්පීම් වලට ලක් වෙනවා යම්කිසි තත්ත්වෙකට එනවා. ඒත් මේ සම්බන්ධතාව මොනයම් හෝ හේතුවක් උඩ හරි දෙදරලා ගිහිල්ලා දෙන්නට වෙන් වෙන්න සිද්ද වුණාම තමයි කෙනෙක් තනිවෙන්නෙ.

සමහරවිට සම්බන්ධතාවක් බිඳ වැටීමක් නොවුණත් ජීවිතයක් සදහටම අපෙන් ඈත්වීමක් වුණත් දරාගන්න අපිට බොහොම අමාරුයි. බැඳීමක් ඇතුළෙ තියෙන්නෙ ආදරය ප්‍රේමය රැකවරණය සෙනෙහස වගේ දේවල්. මේ වගේ මානුෂීය හැඟීම් අපේ හිත් වලට තදින් දැනෙද්දි ඒ දේවල් ගැන අපිට ඇතිවෙනවා ලෝබකමක්, පුංචි තණ්හාවක්. හැමදාම ඒ විඳින ආදරය රැකවරණය අපි ළඟින් තියාගන්න කල්පනා කරනවා.ආදරයක් රැකවරණයක් ළඟින් තියාගන්න නම් ඒ සිතුවිලි අපේ හිත් වල create කරන්න හුරු පුරුදු කළ අයව අපෙන් ඈත්වෙන්න නොදී තියාගන්න වෙනවා.

බැඳීමක දුක පටන් ගන්නෙ මෙතනින්. අපි ආදරය කියල හිතන්නෙ අයිති කරගැනීමක් ගැන. ඒත් ආදරය කියන්නෙ අයිති කරගැනීම නෙමෙයි පරිත්‍යාගය කියල දැනට නිකන් ඔළුව idea එකක් තියාගන්න. ඉස්සරහ දවසකදි ආයිත් අපි ඒ ගැන කතා කරමු.

අපි ආදරය කරන කෙනාගෙ වෙන පුංචි වෙනසෙ ඉඳන් අපිට සෑහෙන්න දුක හිතෙන්න ගන්නවා. අපිට හිතෙනවා එයා ඈත් වෙනවා කියලා. ළං කරගන්න පුළුවන් හැමදේම කරනවා.ඒ හැමදේම කරලත් එයා ළං වුණේ නැත්තම් එයා සදහටම ඔයාව දාලා ගියානම් හිතේ කැකෑරෙන මහා දුකක් එක්කල ඔයා තනිවෙනවා.


අපි කොහොමද මේකෙන් ගොඩ එන්නෙ?
හිතන්න මේ ලෝකෙ ඇත්තටම ඔයාට අයිති මොනවද?
අඩුම ගානෙ අපිට අපිවත් අයිති නෑ නේද? අපිට වෙලාව ආවම මොන දීපංකරේ කවුරු කොහොම වෙලා හිටියත් පිටවෙලා යන්න වෙනවා. ඊළඟ මොහොතෙ මොනවා සිද්ද වෙයිද කියල අපි දන්නෙ නැහැ. ඇත්තටම කියනවනම් අපේ ජීවිතේ ගැන අපිට 100% control එකක් නැහැ.

අපිට අපේ ජීවිතෙත් අයිතියක් නැති වෙද්දි අපි කොහොමද අපේ නොවන දෙයක් සදහටම අයිති කරගන්නෙ? මං දන්නවා මෙතන ටිකක් විවාදාත්මකයි. ඔබ සමහරවිට කියයි මං එයාව ආත්ම ගණනාවක් පෙරුම් පුරාගෙන ආව කියලා. හරි! ඒක ඇත්ත. ඒත් ටිකක් හිතන්න ඒ හැමදේම තාවකාලිකයි නේද?

ආදරය කරන්න ඕන. ප්‍රේමය, ජීවිතය.... මේවා විඳින්න ඕන. ඒත් අපි හිතේ තියාගන්න වෙනවා දවසක හැමදේම අපෙන් මඟහැරෙන බව. ඒ නිසා ඔයා මොනවහරි දෙයක් ආදරෙන් භාරගන්නවා වගේම ඒ දේවල් ඈත්වෙද්දි මනසෙන් නොවැටී ඉන්නත් පුළුවන් කමක්, පොඩි ගටක් ඇතිකරගන්න වෙනවා.

බැඳීම් ඇතිකරගන්නවා වගේම නැතිවෙද්දි ලෝක යථාර්ථය මේකයි කියලා හිතල විශ්වාසයෙන්, ධෛර්යයෙන් ඒ දේවල් භාරගන්න පුළුවන් නම් මං හිතන්නෙ කවුරුත් නැතුව ඔයා තනිවෙන් නෑ. කවුරු ආවත් ගියත් අන්තිමට තමන්ට ඉතුරු වෙන්නෙ තමන් විතරයි කියල හැමතිස්සෙම මොළයේ පැත්තකට වෙන්න තියාගන්න. එහෙම තියාගෙන හැඟීම් එක්ක deal කරන්න. කවදාවත් වැරදෙන එකක් නෑ.

ගිහින් එන්නම්. ආයි හම්බෙමු....!!