Monday, May 23, 2016

කවුරුත් නැතුව 2 - බැඳීමක life cycle එක තේරුම් ගමු

කවුරුත් නැතුව 2 -  බැඳීමක life cycle එක තේරුම් ගමු

බැඳීම් වලට අපි ජීවිතේ ලබාදෙන්නෙ ලොකු ඉඩක්. සමහරු බැඳීම් වලට නොසෑහෙන්න වහල් වෙලා ඉන්නවා. බොහොම අතළොස්සක් තමයි උන්නත් දාහයි මළත් දාහයි කියල පැත්තකට වෙලා ඉන්නෙ. එහෙම ඉන්න අයගෙත් හිත් වල කොනක හරි බැඳීමක සේයාවක් ගෑවිලා නැතුව ම නෙමෙයි.

කොහොම වුණත් සෝවාන් වගේ මාර්ගඵලයක් ලැබුව කෙනෙක් ඇරෙන්න පෘථග්ජන පුද්ගලයෙක්ට බැඳීම් වලින් මිදෙන්න අමාරුයි.
එහෙම නම් බැඳීම් අතහැරලා ඇත්තටම අපිට ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන් නම් එහෙම ඉන්නෙ කොහොමද?


බැඳීමක් ඇතිවෙන්නෙ යම් දෙයකට හෝ කෙනෙක්ට අපි අසීමිතව ළංවෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කෙනෙක් අපිට ළං කරගන්න ඕන.
ඔය කියන මූලික ක්‍රියාවලිය තමයි බැඳීමක් සම්බන්ධතාවයක් විදියට අපේ හිත් වල නිර්මාණය වෙන්නෙ. ඒ විදියට නිර්මාණය වෙන relationship එකක් නොයෙක් හැලහැප්පීම් වලට ලක් වෙනවා යම්කිසි තත්ත්වෙකට එනවා. ඒත් මේ සම්බන්ධතාව මොනයම් හෝ හේතුවක් උඩ හරි දෙදරලා ගිහිල්ලා දෙන්නට වෙන් වෙන්න සිද්ද වුණාම තමයි කෙනෙක් තනිවෙන්නෙ.

සමහරවිට සම්බන්ධතාවක් බිඳ වැටීමක් නොවුණත් ජීවිතයක් සදහටම අපෙන් ඈත්වීමක් වුණත් දරාගන්න අපිට බොහොම අමාරුයි. බැඳීමක් ඇතුළෙ තියෙන්නෙ ආදරය ප්‍රේමය රැකවරණය සෙනෙහස වගේ දේවල්. මේ වගේ මානුෂීය හැඟීම් අපේ හිත් වලට තදින් දැනෙද්දි ඒ දේවල් ගැන අපිට ඇතිවෙනවා ලෝබකමක්, පුංචි තණ්හාවක්. හැමදාම ඒ විඳින ආදරය රැකවරණය අපි ළඟින් තියාගන්න කල්පනා කරනවා.ආදරයක් රැකවරණයක් ළඟින් තියාගන්න නම් ඒ සිතුවිලි අපේ හිත් වල create කරන්න හුරු පුරුදු කළ අයව අපෙන් ඈත්වෙන්න නොදී තියාගන්න වෙනවා.

බැඳීමක දුක පටන් ගන්නෙ මෙතනින්. අපි ආදරය කියල හිතන්නෙ අයිති කරගැනීමක් ගැන. ඒත් ආදරය කියන්නෙ අයිති කරගැනීම නෙමෙයි පරිත්‍යාගය කියල දැනට නිකන් ඔළුව idea එකක් තියාගන්න. ඉස්සරහ දවසකදි ආයිත් අපි ඒ ගැන කතා කරමු.

අපි ආදරය කරන කෙනාගෙ වෙන පුංචි වෙනසෙ ඉඳන් අපිට සෑහෙන්න දුක හිතෙන්න ගන්නවා. අපිට හිතෙනවා එයා ඈත් වෙනවා කියලා. ළං කරගන්න පුළුවන් හැමදේම කරනවා.ඒ හැමදේම කරලත් එයා ළං වුණේ නැත්තම් එයා සදහටම ඔයාව දාලා ගියානම් හිතේ කැකෑරෙන මහා දුකක් එක්කල ඔයා තනිවෙනවා.


අපි කොහොමද මේකෙන් ගොඩ එන්නෙ?
හිතන්න මේ ලෝකෙ ඇත්තටම ඔයාට අයිති මොනවද?
අඩුම ගානෙ අපිට අපිවත් අයිති නෑ නේද? අපිට වෙලාව ආවම මොන දීපංකරේ කවුරු කොහොම වෙලා හිටියත් පිටවෙලා යන්න වෙනවා. ඊළඟ මොහොතෙ මොනවා සිද්ද වෙයිද කියල අපි දන්නෙ නැහැ. ඇත්තටම කියනවනම් අපේ ජීවිතේ ගැන අපිට 100% control එකක් නැහැ.

අපිට අපේ ජීවිතෙත් අයිතියක් නැති වෙද්දි අපි කොහොමද අපේ නොවන දෙයක් සදහටම අයිති කරගන්නෙ? මං දන්නවා මෙතන ටිකක් විවාදාත්මකයි. ඔබ සමහරවිට කියයි මං එයාව ආත්ම ගණනාවක් පෙරුම් පුරාගෙන ආව කියලා. හරි! ඒක ඇත්ත. ඒත් ටිකක් හිතන්න ඒ හැමදේම තාවකාලිකයි නේද?

ආදරය කරන්න ඕන. ප්‍රේමය, ජීවිතය.... මේවා විඳින්න ඕන. ඒත් අපි හිතේ තියාගන්න වෙනවා දවසක හැමදේම අපෙන් මඟහැරෙන බව. ඒ නිසා ඔයා මොනවහරි දෙයක් ආදරෙන් භාරගන්නවා වගේම ඒ දේවල් ඈත්වෙද්දි මනසෙන් නොවැටී ඉන්නත් පුළුවන් කමක්, පොඩි ගටක් ඇතිකරගන්න වෙනවා.

බැඳීම් ඇතිකරගන්නවා වගේම නැතිවෙද්දි ලෝක යථාර්ථය මේකයි කියලා හිතල විශ්වාසයෙන්, ධෛර්යයෙන් ඒ දේවල් භාරගන්න පුළුවන් නම් මං හිතන්නෙ කවුරුත් නැතුව ඔයා තනිවෙන් නෑ. කවුරු ආවත් ගියත් අන්තිමට තමන්ට ඉතුරු වෙන්නෙ තමන් විතරයි කියල හැමතිස්සෙම මොළයේ පැත්තකට වෙන්න තියාගන්න. එහෙම තියාගෙන හැඟීම් එක්ක deal කරන්න. කවදාවත් වැරදෙන එකක් නෑ.

ගිහින් එන්නම්. ආයි හම්බෙමු....!!

1 comment: