Saturday, May 28, 2016

කවුරුත් නැතුව 3 - හැමදේම ලැබිලා ඇයි ඔයාව විතරක් නොලැබුණේ?

කවුරුත් නැතුව 3 - හැමදේම ලැබිලා ඇයි ඔයාව විතරක් නොලැබුණේ?

කවුරුත් නැතුව 2 - බැඳීම් වල life cycle එක කියවපු ගොඩක් දෙනෙක්ගෙන් එල්ල වුනේ බොහොම ආදරණීය විවේචන.

ඕවා ලිව්වට කරන්න ලේසි නැහැ, ප්‍රායෝගික නැහැ

ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් කිව්වට අයිතිකරගැනීම කියන එක හිත් වලින් ඈත් කරන්න අමාරුයි. කලාතුරකින් කෙනෙක්ට තමා එහෙම හිතෙන්න පුළුවන්

මේ වගේ ගොඩක් දේවල්. මේ හැමදේටම ඉස්සරහට යද්දි උත්තර හම්බෙනවා කියල විතරක් මම කියන්නම්. එහෙම කියල අද කවුරුත් නැතුව පටන් ගමු.

කලින් අපි කතා වුණේ බැඳීම් ගැන අද මං කතා කරන්නෙ ලැබීම් ගැන. කවුරුත් නැතුව අපිට තනිවෙන්න වෙන්නෙත්, කාත් එක්ක හරි සතුටින් ඉන්න ලැබෙන්නෙත් අපේ ලැබීම, නොලැබීම නිසානෙ.

අපි මෙහෙම පටන් ගමු. මේ අකුරු කියවන ඔබ ටිකක් බලන්න මේ වෙලාවෙ ඔයාගෙ වටේ තියෙන්නෙ මොනාද කියලා. සමහරවිට ඔයා ළඟ lap එකක් ඇති. නැත්නම් smartphone එකක්. නොතෙමී ඉන්න හිසට උඩින් සෙවණක් ඇති.මේ වගේ එකී මෙකී නොකී දාහක් දේවල් ඇති.


නොලැබුණ දේවල් ගැන බලන්න, හිතන්න කලින් අපි හිතමුද අපිට ලැබුණ වටිනාම දේ මොකද්ද කියලා. හිතන්න අපිට ලැබුණ වටිනාම දේ තමා මිනිස් ජීවිතය. අපිත් මිනිස්සු හින්දා අපිට ඒකෙ ලොකු වටිනාකමක් තේරෙන් නෑ. නමුත් මනුෂ්‍ය කියන්නෙ මනසින් උසස්, හැඟීම් දැනීම් වටහාගන්න ලෝකයේ බිහිවුණු උසස්ම සත්ත්ව කොට්ඨාශයක්. මනුෂ්‍ය ජීවිතයක් ලැබුන නිසා තමා අපිට ගොඩක් දේවල් විඳින්න විඳගන්න අවස්ථාව ලැබුණෙ.

මනුෂ්‍යත්වය කියන fantasyමය සාධකයෙන් අඩු වැඩි විදියට පරිපූර්ණව නිර්මාණය වුණු අපේ ජීවිත තම තමන්ගෙ අවශ්‍යතා අනුව බොහෝ දේ හඹා ගියා. ඔස්ලෝ කියන සමාජ විද්‍යාඥයා අවශ්‍යතා පිරමීඩයක් මඟින් මේ සංසිද්ධීය අපූරුවට පැහැදිලි කලා. මේ පිරමීඩෙ පහළින්ම තියෙන්නෙ අපේ මූලික අවශ්‍යතා.ආහාර, නිවාස,වාතය, නින්ද, උණුසුම වගේ දේවල්. මේ අවශ්‍යතා එකින් එක සපුරගෙන අපි පිරමිඩෙ උඩටම යද්දි අපිට හම්බෙනවා ආරක්ෂාව, ආදරය, ජයග්‍රනය,පිළිගැනීම,respect එක වගේ අවශ්‍යතා. පිරමිඩෙ උඩම තියෙන්නෙ self-actualization කියල එකක්. ඒක තමා මිනිසුන්ගෙ අවශ්‍යතාවල peak එක. එතනින් එහාට අපිට හඔා යන්න දෙයක් නැහැ.

මස්ලෝගෙ theory එක අනුව අපි ගොඩක් දෙනෙක් අයිති වෙන්නෙ මේ පිරමිඩ් එකේ පහළ ස්තර වලට. අපේ ජීවිත ලැබීම් නොලැබීම් වලින් පිරිලා. ලැබීම් වලදි සතුටු වුණ ගොඩක් අය නොලැබීම් වලදි සෑහෙන්න වැටෙනවා. අපි ජීවිතෙන් පෙරළා ප්‍රශ්න කරන්නෙ හැමදේම ලැබිලා ඇයි එක දෙයක් විතරක් නොලැබුණේ කියලා.

අපි හිතන පතන හැමදේම අපිට ඒ විදියටම ලැබෙනවා අඩුයි. කිරල මැනල පෙරිලා ලැබෙන ටිකෙන් තමා ගේමක් ගහන්න වෙන්නෙ. ඒ නිසා අපි ජීවිතෙන් හැමදේම positive විදියට positive දේවල්ම බලාපොරොත්තු වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙමේ.

එහෙනම් කොහොමද අපි අපෙන් ඈත්වුණු දෙයක් දිහා බලාගෙන හිත හදාගන්නෙ?

මේ වෙලාවල් වලදි අපි පොඩි ideological monopoly එකක් මවාගන්නවා අපෙන් ඈත්වුන දේ තමා ලෝකෙ මේ මොහොතේ තියන වැදගත්ම සහ අත්‍යාවශ්‍යම දේ කියලා. mindset එක ඇතුළෙ ඉඳන් අපි ඒ ගැන අසීමිතව හිතනවා. දුක් වෙනවා. අපි විසින්ම අපිට උරුම වුන බොහොමයක් දේවල් මඟහැරලා අහිමි වුන දේ ගැන කල්පනා කරනවා.

එක්තරා රාජ්‍යයක හිටපු ගොවියෙක් ඉතාම සතුටින් ජීවත් වුණා. මේක දැනගත්ත මේ රටේ රජතුමාට තමන්ගෙ රටේ පුරවැසියෙක් තමන්ට වඩා සතුටින් ජීවත් වෙන එකට ඉරිසියා හිතුනා. රජතුමා මහඇමති ඇතුළු පුරෝහිතයින්ට කිව්වා මේ මනුස්සයගෙ සතුට නැතිවෙන විදියෙ දෙයක් කරන්න කියලා. ඇමතිවරු දවසක් රෑක මේ ගොවියගෙ වත්තට රන්කාසි 99 ක් ගිහින් දැම්මා. උදේ නැගිටලා බලද්දි රන්කාසි තොගයක් මිදුලෙ තියනවා දැක්ක ගොවියා කාසි සේරම ගණන් කළා. කාසි 99ක් තියනවා දැනගත්ත ගොවියා ආයි මුල ඉඳන් ගණන් කළා. ඔහු හිතුවා කිසි කෙනෙක් කාසි 99 ක් දාලා යන්නෙ නෑ, අනිත් කාසිය ඔහුට මඟඇරිලා ඇති කියලා. ඔහු හිතුවා කවුරුහරි මේ කාසිය හොරකම් කරන්න ඇති කියලා. වෙන හැම වැඩක්ම පැත්තකින් තියලා ඔහු ජීවිත කාලෙම කළේ මේ කාසිය හොයන එක.ඒත් කොයිතරම් ගණන් කළත් සෙව්වත් ඔහුට ඒ කාසිය හොයාගන්න පුළුවන් වුණේ නැහැ. එතනින් එහාට ජීවිතේ එක තත්පරයක් වත් මේ ගොවියා සතුටින් ජීවත් වුණේ නැහැ.

හිතන්න ඔබත් මේ 99 කණ්ඩායමේ සාමාජිකයෙක්ද? දැන් ඔබ මාත් එක්ක තර්ක කරාවි රන් කාසියක් අහිමි වීමයි, සංසාරගත බැඳීමක දෙදරා යාමයි සම කරන්න බැහැ කියලා. ඔව් ඒත් පොදු සංසිද්ධීය අනුව මේ හැමදෙයක්ම අහිමිවීම්. හැඟීමට වඩා බුද්ධීයට ඉඩ දෙන්නෙ කොහොමද කියන එක අපි තවත් දවසක කතා කරමු.
ලෝකෙ හැමදේකම balance එකක් තියෙන්න ඕන. හැමදේම ඔයා හිතන විදියටම වෙලා ආස කරන හැමදේම ලැබුණොත් එතෙන්දි ඒ balance එක නැතිවෙලා. සමහරවිට ඔයාට ඒ දේවල් ලැබෙන්න කල් යනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලැබෙන්න ඕන නැති දෙයක් වෙන්නත් පුළුවන්.


 හොයලා බලන්න හැමදේම හිතන විදියටම වුන කෙනෙක් මේ ලෝකෙ කොහේහරි ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් ඒක ගිනස් පොතෙත් උඩින්ම ලියවෙන්න ඕන දෙයක්.  

කරන්න තියෙන්නෙ ලැබුන ගොඩක් දේවල් ගැන සතුටු වෙන එක. ජීවිතය ඔයාට අඬන්න හේතු සියයක් පෙන්වද්දි ඔයා ලෝකෙට පෙන්වන්න හිනාවෙන්න හේතු දාහක් තියෙන විත්තිය. හැම කඩාවැටීමක් ළඟදිම ඔළුව කෙළින් තියන් හිනාවෙලා හැමදේම භාරගන්න ready වෙලා ඉන්න.

අද කවුරුත් නැතුව ඉවර කරන්නෙ මහාචාර්ය ගංගානාත් දිසානායක ඔහුගේ පැණි වළලු පොතේ අම්මා කියන පරිච්ඡේදය ඇතුළෙ සටහන් කරන වචන කිහිපයකින්. ලැබුන නොලැබුන දේවල් ජීවිතේ අපි භාරගන්න විදිය ගැන හිත කීරි ගස්සන පාඩමක් මේ අකුරු අපිට කියල දෙනවා.

මේක කියවන ඔබ නොලැබුන හුඟක් දේවල් ගැන දුක් මහන්සි වෙනවා ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතුව ඇති. මට නම් ජීවිතේ හුඟක් දේවල් ලැබුනා. රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාළිගාවටත් වඩා ලොකු ලස්සන මාළිගාවක් වගේ ගේක ජීවත් වෙන්න ලැබුනා. ඒත් මට එකක් ලැබුණ් නෑ. ඒක ආයෙ ලබන්නත් බැහැ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබලා ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහුවොත් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියලා? ඔබ ලක්ෂපති. මම හිඟන්නෙක්... 



No comments:

Post a Comment