Monday, May 23, 2016

කවුරුත් නැතුව 2 - බැඳීමක life cycle එක තේරුම් ගමු

කවුරුත් නැතුව 2 -  බැඳීමක life cycle එක තේරුම් ගමු

බැඳීම් වලට අපි ජීවිතේ ලබාදෙන්නෙ ලොකු ඉඩක්. සමහරු බැඳීම් වලට නොසෑහෙන්න වහල් වෙලා ඉන්නවා. බොහොම අතළොස්සක් තමයි උන්නත් දාහයි මළත් දාහයි කියල පැත්තකට වෙලා ඉන්නෙ. එහෙම ඉන්න අයගෙත් හිත් වල කොනක හරි බැඳීමක සේයාවක් ගෑවිලා නැතුව ම නෙමෙයි.

කොහොම වුණත් සෝවාන් වගේ මාර්ගඵලයක් ලැබුව කෙනෙක් ඇරෙන්න පෘථග්ජන පුද්ගලයෙක්ට බැඳීම් වලින් මිදෙන්න අමාරුයි.
එහෙම නම් බැඳීම් අතහැරලා ඇත්තටම අපිට ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන් නම් එහෙම ඉන්නෙ කොහොමද?


බැඳීමක් ඇතිවෙන්නෙ යම් දෙයකට හෝ කෙනෙක්ට අපි අසීමිතව ළංවෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කෙනෙක් අපිට ළං කරගන්න ඕන.
ඔය කියන මූලික ක්‍රියාවලිය තමයි බැඳීමක් සම්බන්ධතාවයක් විදියට අපේ හිත් වල නිර්මාණය වෙන්නෙ. ඒ විදියට නිර්මාණය වෙන relationship එකක් නොයෙක් හැලහැප්පීම් වලට ලක් වෙනවා යම්කිසි තත්ත්වෙකට එනවා. ඒත් මේ සම්බන්ධතාව මොනයම් හෝ හේතුවක් උඩ හරි දෙදරලා ගිහිල්ලා දෙන්නට වෙන් වෙන්න සිද්ද වුණාම තමයි කෙනෙක් තනිවෙන්නෙ.

සමහරවිට සම්බන්ධතාවක් බිඳ වැටීමක් නොවුණත් ජීවිතයක් සදහටම අපෙන් ඈත්වීමක් වුණත් දරාගන්න අපිට බොහොම අමාරුයි. බැඳීමක් ඇතුළෙ තියෙන්නෙ ආදරය ප්‍රේමය රැකවරණය සෙනෙහස වගේ දේවල්. මේ වගේ මානුෂීය හැඟීම් අපේ හිත් වලට තදින් දැනෙද්දි ඒ දේවල් ගැන අපිට ඇතිවෙනවා ලෝබකමක්, පුංචි තණ්හාවක්. හැමදාම ඒ විඳින ආදරය රැකවරණය අපි ළඟින් තියාගන්න කල්පනා කරනවා.ආදරයක් රැකවරණයක් ළඟින් තියාගන්න නම් ඒ සිතුවිලි අපේ හිත් වල create කරන්න හුරු පුරුදු කළ අයව අපෙන් ඈත්වෙන්න නොදී තියාගන්න වෙනවා.

බැඳීමක දුක පටන් ගන්නෙ මෙතනින්. අපි ආදරය කියල හිතන්නෙ අයිති කරගැනීමක් ගැන. ඒත් ආදරය කියන්නෙ අයිති කරගැනීම නෙමෙයි පරිත්‍යාගය කියල දැනට නිකන් ඔළුව idea එකක් තියාගන්න. ඉස්සරහ දවසකදි ආයිත් අපි ඒ ගැන කතා කරමු.

අපි ආදරය කරන කෙනාගෙ වෙන පුංචි වෙනසෙ ඉඳන් අපිට සෑහෙන්න දුක හිතෙන්න ගන්නවා. අපිට හිතෙනවා එයා ඈත් වෙනවා කියලා. ළං කරගන්න පුළුවන් හැමදේම කරනවා.ඒ හැමදේම කරලත් එයා ළං වුණේ නැත්තම් එයා සදහටම ඔයාව දාලා ගියානම් හිතේ කැකෑරෙන මහා දුකක් එක්කල ඔයා තනිවෙනවා.


අපි කොහොමද මේකෙන් ගොඩ එන්නෙ?
හිතන්න මේ ලෝකෙ ඇත්තටම ඔයාට අයිති මොනවද?
අඩුම ගානෙ අපිට අපිවත් අයිති නෑ නේද? අපිට වෙලාව ආවම මොන දීපංකරේ කවුරු කොහොම වෙලා හිටියත් පිටවෙලා යන්න වෙනවා. ඊළඟ මොහොතෙ මොනවා සිද්ද වෙයිද කියල අපි දන්නෙ නැහැ. ඇත්තටම කියනවනම් අපේ ජීවිතේ ගැන අපිට 100% control එකක් නැහැ.

අපිට අපේ ජීවිතෙත් අයිතියක් නැති වෙද්දි අපි කොහොමද අපේ නොවන දෙයක් සදහටම අයිති කරගන්නෙ? මං දන්නවා මෙතන ටිකක් විවාදාත්මකයි. ඔබ සමහරවිට කියයි මං එයාව ආත්ම ගණනාවක් පෙරුම් පුරාගෙන ආව කියලා. හරි! ඒක ඇත්ත. ඒත් ටිකක් හිතන්න ඒ හැමදේම තාවකාලිකයි නේද?

ආදරය කරන්න ඕන. ප්‍රේමය, ජීවිතය.... මේවා විඳින්න ඕන. ඒත් අපි හිතේ තියාගන්න වෙනවා දවසක හැමදේම අපෙන් මඟහැරෙන බව. ඒ නිසා ඔයා මොනවහරි දෙයක් ආදරෙන් භාරගන්නවා වගේම ඒ දේවල් ඈත්වෙද්දි මනසෙන් නොවැටී ඉන්නත් පුළුවන් කමක්, පොඩි ගටක් ඇතිකරගන්න වෙනවා.

බැඳීම් ඇතිකරගන්නවා වගේම නැතිවෙද්දි ලෝක යථාර්ථය මේකයි කියලා හිතල විශ්වාසයෙන්, ධෛර්යයෙන් ඒ දේවල් භාරගන්න පුළුවන් නම් මං හිතන්නෙ ‘කවුරුත් නැතුව’ ඔයා තනිවෙන් නෑ. කවුරු ආවත් ගියත් අන්තිමට තමන්ට ඉතුරු වෙන්නෙ තමන් විතරයි කියල හැමතිස්සෙම මොළයේ පැත්තකට වෙන්න තියාගන්න. එහෙම තියාගෙන හැඟීම් එක්ක deal කරන්න. කවදාවත් වැරදෙන එකක් නෑ.

ගිහින් එන්නම්. ආයි හම්බෙමු....!!

Sunday, May 22, 2016

ඒක හීනයක් - ඒ හීනෙට මම ආදරෙයි


කල්පයක් පුරා පෙරමඟ
සිහිනයක් අසළ තුන්හිත
නවතිමින් දුටුව හීනයේ
කුමරියයි ඔයා

තනිකමින් ගෙවුණ තත්පර
පෙම් සිතුම් මවා හැඩකළ
සිත් දෙකක් එක්ව බැඳෙනා
දිනය පැමිණුනා


සිහිනයන් පුරා
සිතුවම් ඇන්ඳේ
ඔය රුව සැමදා

මතකයන් අරා
රැව් පිළි නැඟුණේ
නුඹවයි සැමදා


මියෙන තෙක් දිවියෙ කෙළවර
නුඹෙ ළඟින් හිඳිමි සැමවිට
වැළඳගමි හදට ළංකර
රැකගනිමි සදා

පිසදමා කඳුළු නෙතුඅග
සිනාසෙමි සුසුම් මඟහැර
ඇවිදයමු පැතුම් පොදි බැඳ
සෙනෙහසින් සදා


බදුලු අහසට....

බදුලු අහසම අඬන් ඇති
කඳුගැටෙහි ගුළිවෙච්ච
වළා රොද නැති පාලුවට,
එක රෑනෙ ඉගිලිච්ච
සියොත් කැල නැති
සාංකාවට,

විසිරුණේ නැතිවාට
දුන්හිඳේ පෙණ කැටිති
සහස් සිත් අසතුටින්
අසිරි සිරි මදිවාට...

සින්නක්කරව ඔප්පු ලියපු
සමනළ්ලු අන්ධයිලු
හිත් පතුලෙ කැකෑරෙන
වේදනා නොදැනෙන්න,

හිස් වෙච්ච ගොඩක් තැන්
පුරවන්න හැකිවේවි
හුදෙකලා නැති හිතට
වාරු වෙන කවියකට.......

කවුරුත් නැතුව 1 - තනියෙන් ඉන්න ඇත්තටම පුලුවන්ද?

කවුරුත් නැතුව 1 - තනියෙන් ඉන්න ඇත්තටම පුලුවන්ද?



# කවුරුත් නැතුව කියල ලොකුවට ලියන්න පටන් ගත්තට කාටහරි කවුරුත්ම  නැතුව ඉන්න බැහැ.

@ නැහැ.පුලුවන්... ඇයි බැරි?

# බෑ... කොහේදි හරි අසරණ වෙනවා.තනි වෙනවා.

@ එහෙම තනියක් නැහැ. හිත හයිය කරගන්න තියෙන්නෙ.

# කියන්න හැමෝටම පුලුවන්. කරන්න ගියාමනේ ර‍ඟේ දැනෙන්නේ.

මේක දෙන්නෙක් අතර ඇතිවුණ දෙබසක්. ඔව් ඒ දෙන්නා තමයි මමයි, මමයි.මම කියපුවට උත්තර දුන්නෙත් මම මයි.

මං දන්නවා දැන් නිකං කොයිල් වගේ ඇති තමයි මේ ටික කියවද්දි. කොහොම උනත් කවුරුත් නැතුව තනියෙන් ඉන්න පුලුවන්ද කියල හිතන එකත් පොඩි challenge 1,පොඩි දෙගිඩියාවක්.

ඒත් ඒ දෙගිඩියාව පැත්තකින් තියලා  challenge 1 කරට අරන් අපි කතාකරන්න යන්නෙ කවුරුත් නැතුව ඉන්න එක ගැන.

ඇයි ලියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?

තියනවා. ඒත් තනිවුණ මිනිස්සු කොයි තරම් නම් විඳවනවද?  විඳවන එකෙන් නතර වෙන් නෑ.ජීවිතත් නැති කරගන්නවා. ජීවත් වෙන හැම තත්පරේකම හිත් වලින් පන අදිනවා. ඒත්..., තනිකම කියන්නේ ඒ තරම් විඳවන්න ඕනි දෙයක් ද? සමහරවිට ඒකෙත් පොඩි kick එකක්, ජීවිතේට උකහා ගන්න දෙයක්  තියෙන්න පුලුවන්. මං හදන්නේ අන්න ඒ දේවල් හොයාගෙන යන්න.

ඇයි මිනිස්සු තනි වෙන්නේ? සරලම හේතුව ආදරය කරන කෙනා දාලා යනවා. යාලුවෙක්  ඈත් වෙනවා. ළඟම කෙනෙක් අපි හිතමු ජීවිතයෙන් සමු ගන්නවා. මේ වගේ තව තව හේතු තියෙන්න පුලුවන්.

කවුරු කෙහොම කිව්වත් ඒ වගේ තනිකමක්,වියෝවක්,වෙන්වීමක් එකපාර දරාගන්න, නාඩි වැඩකරන,හුස්ම වැටෙන,ධමනි-ශිරා හරහා ලේ පොම්ම වෙන පංචස්කන්ධයකට නම් පුලුවන් කමක් නැහැ.

ඒත් අපට මුහුණ දෙන්න වෙන පරාජයක්, කඩාවැටීමක් එතනින් එහාට ජීවිතේ ගෙවන මිනිත්තු තත්පරේකටම බලපාන මට්ටමකට up කරගන්න ඕනද? සමහරවිට ඔබ කියයි ඒ දේවල් හිතලා කරගන්නවා නෙමෙයි,ඉබේටම හිත්වලට වද දෙනවා කියල.
ඔව් අපි ඒ දේවල්වලට ආදරේ කරපු තරමටම ඒ දේවල් අහිමි වේදනාව විඳවන්න වෙනවා.

කතාව ඇත්ත.ඒත් මං කලින් කිව්වා වගේ ජීවිතේම අඩන්න වැළපෙන්න අපිට බැහැ. ගොඩඒමක් තියෙන්න ඕන. ගොඩඒමක් විතරක් නෙමෙයි, ගොඩ ඇවිත් පය ගහලා හිටගෙන ඉන්න හැකියාවකුත් තියෙන්න ඕන.

විඳවන්න දේවල් තියෙන්න ඕන.නැත්නම් ජීවිතේ කිසිම රහක් නෑ. ඒ වගේම කිසි කෙනෙක් සදාකාලිකවම අඬන්න ඕනත් නෑ. මේ අකුරු වෙන් කරන්නේ තනිකමෙන් මිරිකිච්ච, රිදුම් දෙන හිත්වලට.

ඒන්න අපි අලුත් අඩියක් ඉස්සරහට තියමු. පොඩි liberal concept ටිකක් බස්සලා කරලා ඔය කීරි ගැහෙන සිතුවිලිවලට ඔක්සිජන් ටිකක් ඇතුල් තරමු. ඉස්සො වඩේ එකක රහ රසාංකුර හිරිවැටෙන තරමට දැනෙන්න ගන්නේ එතකොට...

අදට ඉවරයි...දිගටම ඉන්න...


Sunday, February 7, 2016

කොන්දේසි විරහිත ආදරය

තව ටිකක් උස ගිහින්
මහතත් අඩුවෙලා
සල්ලිත් ටිකක් තිබ්බ නම්,
මටත් ඔයාට
unconditionally love කරන්න තිබ්බා......


Saturday, January 2, 2016

Typical නැති, Radical ආදරේ


මැක්සිම් ගෝර්කි කියන්නෙ මුළු ලෝකෙම නොමඳ ගෞරවයට පාත්‍ර වුණ සුප්‍රකට ලේඛකයෙක්. ගෝර්කි එයාගෙ අම්මා පොතේ සඳහන් කළා ලෝකය නිර්මාණය වුණේ හිරුගේ රැස් දහරින් සහ අම්මාගේ කිරි වලින් කියලා. අම්මාගේ කිරි ලේ බවට හැරෙව්වෙ මව් සෙනෙහස.  අම්මා කෙනෙක් දරුවෙක්ට දක්වන සෙනෙහසට අපි නමක් තිබ්බා. “මව් සෙනෙහස”.

මේ කතාව මෙතනින් පටන් ගත්තට මං මෙතන ඉඳන් පොඩි u turn එකක් ගහනවා. මං කතා කරන්නෙ හිතන්නෙ ආදරය නැත්නම් ප්‍රේමය ගැන. මේක දැකපු ගමන් xxxxx ඇති කියල පැත්තකින් තියන්න නංගිල මල්ලිල අයියල අක්කලට හිතෙන්න පුළුවන්. ඒ තරමටම ආදරය ප්‍රේමය සමාජයේ පට්ට ගැහෙන නිසා. ඒත් මේක ටිකක් කොත්තුවක් කාලා, බෙලිමල් එකක් බීලා, ඔළුවෙන් හිටගෙන ආදරේ ගැන හිතනවා වගේ දෙයක්. ලියලම බලමුකො…

ඉස්කෝලෙ, tuition class එකේ, campus එකේ, office එකේ ආදර කතා නම් කෝටි ප්‍රකෝටි ගණන්. මේ කතන්දර වලට අපි නොයෙක් විදියේ නම් යොදාගෙන තියෙනවා. මිත්‍රත්වය, මිතුරු කමට එහා ගිය ළෙන්ගතු ඇසුර ආදරය, ප්‍රේමය. මේ හැමදෙයකටම පස්සෙ විවාහය කියල නීතිගත බැඳීමක් සමාජයේ සම්මත වෙලා තියෙනවා. මිනිස්සු ඉපදුන දවසෙ ඉඳන් හදන target ඇතුළෙ marriage කියන දේට දෙන්නෙ අසීමිත වටිනාකමක්.ඕනම කෙල්ලෙක් හීන මවනවා හොඳ job එකක් තියන, shades දාලා  car එකකින් බහින කොල්ලෙක්ව marry  කරලා grand wedding එකක් ගන්න. කොල්ලෙක් හිතන් ඉන්නවා යහපත්ව හැදුණ වැඩුණ (සුළු වැරදි වලින් තොර) ලස්සන අහිංසක කෙල්ලෙක්ව marry  කරන්න.


එක එක්කෙනාගේ ඕනෑ එපාකම් ආසාවන් එක්ක මේ දේවල් එහා මෙහා වුණත්, මේ තමා පොදු සමාජ අවශ්‍යතාවය. ඒත් මේ විවාහය කියන එක ගැන අපි ටිකක් විතර ගැඹුරට හිතුවොත් මේක හරියට මිනිස්සුන්ගෙ හිත් වල ඇතිවෙන ගැළපීමක්, හුරුපුරුදු කමක් සමාජ අවශ්‍යතාවන් මත ටිකක් up කරලා නීතිගත මට්ටමකට ගේන්න කරන පට්ට official දෙයක් කියල හිතන්න පුළුවන්. ඒත් මිනිස්සු එකතු වෙන්නෙ ආදරය කරන්නෙ බඳින්නම ද? එකතු වීමක ආදරයක අවසාන ප්‍රතිඵලය විවාහය කියලා සමාජය නිර්මාණය කරගත්තට, විවාහය target කරල ආදරය කරන්න ගිහින් අපි වැඩ වරද්ද ගන්නෙ නැද්ද?

මේ සංකීර්ණ අංඩර දෙමළය අපි සරල උදාහරණෙකට ගමු.

අපි හිතමු දෙන්නෙක් ඔන්න යාළු වෙනවා. මේ දෙන්න ආදරය කරන්නත් පටන් ගන්නවා. ඒත් විවාහයට කලින් පවුල් වල හත්මුදු පරම්පරාවල අග්ගිස්සක ඉන්න පොරකගෙ character certificate අවුල් නම් හරි, බඩෙන් එළියට එද්දි nurse ලියාගත්ත වෙලාවට අහසෙ තරු set එක තිබ්බ විදිය match වෙන් නැති වුණොත් හරි අර couple  එකට කවදාවත් එකතුවෙන්න වෙන් නෑ. මේ හේතුව නිසා මේ දෙන්න affair එක නවත්තනවා. එක නැවැත්තුවට මේ දෙන්නට දෙන්නා ආදරෙයි. ආයිත් වෙන කෙනෙක් ගැන හිතන්න දෙන්නටම කොහොමත්ම බැහැ. ඒ නිසා affair කියල ලේබල් ගහන් නැතුව එයාලා වෙනදටත් වඩා ආදරය කරනවා.

ඒත් කොතකක හරි ප්‍රශ්නයක් එනවා. “මොකද්ද මේ වැඩේ තේරුම?” බොහෝ දුරට ගැහැණු ළමයගෙ පැත්තෙන් මේ ප්‍රශ්නෙ එන්න තියන ඉඩකඩ වැඩියි. ගැහැණු ළමයින්ට ඕන love කියන concept එක ඇතුළෙ stable වෙන්න. තේරුමක් නැහැ කියල එයා අදහස් කරන්නෙ අපිට කවදාවත් බඳින්න වෙන් නෑ කියන එක. ඒත් marriage කියන concept එකට වඩා කොයිතරම් මේ දෙන්නා හදවත් වලින් එකතු වෙලාද, ආදරය කරනවද කියල දෙන්නටම ලොකු අවබෝධයක් නැහැ. ඒත් අර marriage  කියන target  එකට ළංවෙන්න බැරි නිසා තමන්ගෙ සම්බන්ධෙ ගැන එයාලගෙන්ම ප්‍රශ්න කරගන්නවා.


මේ අතරෙ සමහරු තමන්ගෙ සම්බන්ධෙට නමක් හොයනවා. එයාලා හිතනවා කසාද බඳින් නැති නිසා ආදරය,ප්‍රේමය වගේ වචන භාවිතා කරන්න හොඳ නැහැ කියලා. සංස්කෘතියට සදාචාරයට අප්‍රමාණව වහල් වෙලා, පීඩිත වෙලා කරන තරමක් අසික්ඛිත වැඩ කර කර ඉන්න රටකට, living together කියන්නෙත් තිත්ත කුණුහරුපයක් නිසා ඒ වගේ වචනයක් ගැන හිතන්නෙවත් නැහැ. මේ system එක ඇතුළෙ විවාහයෙන් එහා ගිය සවිඥාණික ආදර සම්බන්ධතා වලට පිළිගත් තත්ත්වයක් ලැබිලා නැති නිසා, ආදරය කරන අය බොහොම ආයාසයෙන් වෙන් වෙනවා.  එහෙම නැත්නම් ජීවිතේ විඳින්න ඕන දේවල් විඳින්න ඕන කාලෙදි miss කරගන්නවා.

කොන්දේසි විරහිතව ආදරය කිරීමක් ගැන මිනිස්සු හිතන්නත් භයයි. හේතුව මේ සමාජය විසින්ම අපේ ඔළුවලට ඔබ්බන marriage වගේ කෘතිම conepts නිසා. ඒ නිසා පැය 24 ම TV එකේ, radio එකේ, පත්තර, පොත් පත් වල  ආදරය ගැන කතා කරාට fb news feed වල ආදරණීය රුවන් වැකි share වුණාට අපි එක තැනකින් සැහෙන්න පසුබැහැලා.



විවාහය කියන්නෙ ජීවිතය වරද්දා ගැනීමක් කියල දැන් වැරදියට හිතන්න එපා. තමන් ආදරය කරන කෙනාව කසාද බැඳලා දරු පවුලකුත් එක්ක ජීවිතේ ගෙනියන අය අපි අතරෙ ඕන තරම් ඉන්නවා. ඒත් ඒ මත්තෙම ඕනවට වඩා නැහෙන්න ගිහින් අපි ගාව තියන දේවල්, අපි ළඟා කරගත්ත දේවල් නැති කරගන්න නරකයි. මොකද ඒ දේවල් ජීවිතේ ආයි කවදාවත් අපිට හමු නොවෙන දේවල් වෙන්න පුළුවන් නිසා.

මේ අකුරු වලට නහර පිප්පෙන්න, මුහුණු රතු වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඒ වුණාට හැමෝම කරන දේ ඒ විදියටම අපිත් කරන්න ඕන කියල අපි කොහෙටවත් බැඳිලා නැහැනේ. අපේ ජීවිත ලස්සන කරගන්න ඕන අපි. ඒ නිසා ආයිත් ජීවිතේ පහුකරපු දේවල් ගැන කොත්තුවක් කාලා බෙලිමල් එකක් බීලා ගැන ටිකක් වෙනස් ව හිතමු.

ගිහින් එන්නම්!! ආයි හම්බෙමු!! 

Sunday, December 6, 2015

බස් යට ආලය....


බුකියේ වන බස් රථ පෙළක් යට පෙම් කරන තරුණ යුවළ කිහිපයකගේ සේයාරුවක් හා මෙම සටහන සබැඳිය. ඒ වෙත දසදෙසින් එල්ල වන විවේචන, ගැරහුම් බොහෝය. ඒ සියල්ල ඔවුන් වෙත දිශානතිගත කිරීමට පෙර ඔවුනට බස් රථයක අධෝ පෙදෙසට මුවා වී පෙම් කරන්නට හේතු වූ කරුණු විශ්ලේෂණය කිරීම අගනේ යැයි සිතමි.

සංවර්ධනයේ පමණක් නොව මානව චින්තනයෙන්ද තුන්වන ලෙවලයේ (බොහෝ විට ඊටත් පහළ මට්ටමක) සිටිනා ශ්‍රී ලංකාවට ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය යන මෙව්වා හරිම මැජික්ය. එවන් වාතාවරණයක් තුළ මෙකී කපල්, ප්‍රේමයෙන් වෙළී සිටීම කෙසේ වෙතත් ඔවුනොවුන් බස් රථ පාමුල නොව වෙනයම් ස්ථානයක කතාබහ කරමින් සිටියේ නම් ඔවුන් පහත සඳහන් තත්ත්වයන්ට මුහුණ දෙනු ඇත.
බස් නැවතුමක දුම්රිය නැවතුමක නම් දෙනෝදාහකගේ ඇස් ඔවුනට යොමුවන අතර “තැනක් නොතැනක් දන් නැතුව love කරන්න යන කාලකණ්නි. මුන්ගේ දෙමාපියො මේවට වගකියන්න ඕන”. දකින අය නොදකින අයටද මෙම පෙම්වතුන් පෙන්වමින් ඉහත වාග් ප්‍රහාරයන්ගෙන් ඔවුනට සංග්‍රහ කරති.
බස්රථයක් තුළ නම් තනිකන්දෝසයෙන් හා ඉරිසියාවෙන් පුපුරන අම්මණ්ඩිලා seat එකක් ලබාගැනීමේ පරම පවිත්‍ර චේතනා පෙරදැරිව, බස් රථය දෙවනත් කරමින් නඟන දෙස් දෙවොල් චෝදනා අපවාද අසන්නට වනු ඇත.
Bench එකක් නම් ගල් පැලෙන බේගල් ඇද බාන සාස්තරකරුවන් හා තක්කඩි තොරොම්බෝල හා කඩල කරුවන්ගේ නොනවතින කරච්චලයෙන් පීඩා විඳීමට ඉහත පෙම්වතුන්ට සිදුවනු ඇත.
Park එකක් නම් විසිල් ගසමින් සැරිසරන සිකුරුටි කාරයන්, පෙම්වතුන් බල්ලන් මෙන් එළවන්නට වු කල දුවන්නට සැරසී සිටිය යුතුය.
පන්සලක් නම්, පන්සලක ඇවිල්ලත් හැසිරෙන්න දන් නැති වලත්තයෝ යැයි, එහි නිති යනෙන සැදැහැවත් සුපේශල දෑ හිතකාමී බෝසත් උපාසක උපාසිකාවන්ගෙන්  කන් පිරෙන්නට අසා ගැනීමට සූදානම් වී සිටිය යුතුය.
මේ සියල්ලෙන් වසන් වී room එකක් අස්සට රිංගුවේ නම්, කාමරය විවෘත කර දෙන කොලුවාගේ phone එකේ කැමරාවේ, කාමරය තුළ සිදුවන දෑ සටහන් වනු ඇත.
මෙය කිසිසේත්ම පොදු ස්ථානවල අසෝබන ලෙස හැසිරීම සාධාරණීකරණය කිරීමට යෑමක් නොවේ. නමුත් තරුණයාට නිසි පිළිගැනීම සහ නිදහස නොලැබෙනා තාක් මේ ආකාරයේ හිත හිරිවට්ටන දර්ශන අප හට නරඹන්නට සිදුවනු ඇත

මේ සියලු තත්ත්වයන් යටතේ පෙම් කිරීම උදෙසා ගැට්ටකින් ඉදිරියට නෙරා ආ බස් රථයක අධෝ පෙදෙස තෝරාගැනීම පුදුමයට කාරණයක් නොවේ. ටියුෂන් මුදල මාටියා ගසා පෙම්වතා පෙම්වතී හමුවන්නට යන අපේ කාලයේ තාරුණ්‍යයට KFC, Barista, McDonalds යන්නට අතේ පිච්චියක් නැත. සමාජය විසින් ඔවුන් ඒ තත්ත්වයට ඇද දමා තාරුණ්‍යයට නිගා කර තරුණ සිතුවිලි වල්මත් කර එම සමාජයම ඔවුන්ව විවේචනය කිරීම පිළිබඳව අප මහත් කණගාටුවට පත්විය යුතුය. මෙය උඩබලාගෙන කෙළ ගැසීමක් බව වටහා ගැනීමටත්, එම කෙළ බිඳිති තම මුහුණත් තහඩුව මත පතිත වන බව තේරුම් ගැනීමටත් සබුද්ධික හුදී ජනයාට චිරාත් කාලයක් ගතවනු ඇත. 

-චරිත් ගුණරත්න-