Monday, February 13, 2017
Sunday, June 19, 2016
කවුරුත් නැතුව 4 - පැටලෙන්නෙ නැතුව ගොඩඑන්න. ආදරය or අනුකම්පාව....
පැටලෙන්නෙ
නැතුව ගොඩඑන්න. ආදරය or අනුකම්පාව....
ඉස්සො වඩේ
රහ ඇඟට හිතට වද්දගන්න යාළුවො සේරටම ආයුබෝවන්...! hi..! Salaam!! වනක්කම්...!!
පොර ටෝක්ස්
ටිකත් පොදි බැඳගෙන ඔන්න අදත් හිත් අස්සෙ කටු අනින්නයි සූදානම.
පටන් ගමු..!
ඉස්සො
වඩේ...!! කවුරුත් නැතුව 4
අද
මගේ හෙඩින් එක “පැටලෙන්නෙ නැතුව ගොඩඑන්න, ආදරය or අනුකම්පාව”.
මෙතන පැහැදිලිව අපිට වචන 4ක් පේනවා. ඉස්සරහට ලියන් යන්න නම් මට මේ වචන 4, මගේ ක්‍රමයට
අර්ථකථනයන් කරගන්න වෙනවා.
1. ආදරය - ආදරය කිව්ව ගමන් මොනාහරි මතක් වුණාද? මතක්
වෙනවද?
අන්න ඒක තමා ආදරය. එපමණයි. සදා විශ්වාසයි
2. අනුකම්පාව - කම්පාව කියන්නෙ සිත් තැවුල.
අනුකම්පාව කියන්නෙ අනුන්ගෙ දුකේදි/ කරදරයකදි සිත් තැවුලට පත්වීම.
3. පැටලෙන්න - නූල්
බෝලයක් පැටලෙන්නෙ නූල් බෝලයක් ඇතුළෙමයි. ඒත් වැලක් සමහරවිට තවත් වැලක හෝ ගහක
පැටලෙන්න පුළුවන්. පැටලීම සාපේක්ෂයි. එක්කො තමන් කේන්ද්‍ර කරන් පැටලෙනවා. නැත්නම්
බාහිර පාර්ශ්වයක් කේන්ද්‍ර කරගෙන පැටලෙනවා. කොහොම පැටලුනත් පැටලිල්ල පැටලිල්ලමයි.
4. ගොඩඑන්න - සරලයි! ගොඩඑන්න..
වචන
ටික ගොඩදාගත්තට පස්සෙ අපි බලනවා මොකද්ද මේ රට පැටලෙන scenario එක කියලා. ආදරයයි අනුකම්පාවයි කියන්නෙ හිත්
රැවටෙන හිත් පැටලෙන හිත් කිතිකවන බරපතල concepts දෙකක්. මේක අංශුමාත්‍රයීය ඝනකමින් යුත් හීන්
නූලකින් වෙන්කරල දෙපැත්තට කරපු විෂය පථ දෙකක්. මේ සංකීර්ණ සිතුවිලි පරාස දෙක මේ
තරම් අපේ ජීවිත වලට බලපෑම් කරන්නෙ කොහොමද?
මේ
ප්රශ්නය අපිට පැති කිහිපයකින් විස්තර කරගන්න පුළුවන්. හිතන්න දෙන්නෙක් ආදරය කරල
මොනාහරි හේතුවක් නිසා වෙන් වෙනවා. අපි හිතමු දෙන්නගෙ නොගැළපීමක් නිසා අවබෝධයෙන්ම
දෙපැත්තට වුණා කියල. මෙහෙම වෙන් වුණාට එක් පාර්ශ්වයක්, අපි හිතමු පෙම්වතාට මේ
විදියට තනිවෙලා ඉන්න බැහැ.ඒ නිසා ඔහු නැවතත් පෙම්වතිය එක්ක කතාබහ කරන්න ආස්‍රය
කරන්න උත්සාහ කරනවා. අසීමිතව අතීතය ගැන පසුතැවෙනවා. සිදුවුන දේවල් ගැන දුක් වෙනවා.
සමහරවිට සියදිවි නසාගැනීමකට වගේ තැත් කරන්න වුණත් බැරි නැහැ. දෙවෙනි පාර්ශ්වය, ඒ
කියන්නෙ පෙම්වතිය යථාර්ථය තේරුම් අරන් හිටියත් මේ වගේ සිදුවන දේවල් නිසා එයා පව්
මොනවා කරගනීද දන් නෑ වගේ එකක් හිතේ මවාගන්නවා.
සිදුවන
ක්‍රියා පටිපාටින් එක්ක මේ අනුකම්පාව, ආදරයට අනුලෝමව සමානුපාතික වෙලා නැවතත් ප්‍රේමය
තිබුණු තත්ත්වයටම එනවා.
දැන්
හිතන්න ඒ දෙන්නා වෙන් වුණේ යම්කිසි නොගැළපීමක් නිසා නම් (අවබෝධාත්මක නොගැළපීමක්)
වෙන් වෙන්න හිතුව තීරණෙන් දැන් ඵලක් නැහැ නේද?
දැන්
ඔබ කියාවි ආදරය කියන්නෙ ඒකට, හැලහැප්පීම්, වෙනස්වීම් එක්කල ඉස්සරහට යන එකට කියලා.
ඒක හරි. ඒත් මේ බැඳීම දිගු කාලයක් පවත්වාගෙන යන්න බැහැ කියන Point එකට එක මොහොතකදි ආව නිසා නේද මේ දෙන්නා වෙන්වුණේ? එහෙම තැනකට හිත හදාගෙන affair එකක්
නවත්වන්න පුළුවන් නම්..., ඒ සිතුවිල්ල එහෙම්ම කණපිට ගස්සන්න අනුකම්පාව කියන
සිතුවිල්ලටත් පුළුවන්. එතකොට කවුරුත් නැතුව ඉන්නවා කියල හරි affair එක
නවත්තනවා කියල හරි ගත්ත decision
එක ඇතුළෙ මේ
දෙන්නම fail. ඒවගේම මුලින් මේ දෙන්නා ආදරෙන් ළංවුණාට දෙවෙනි
පාර ළංවෙන්නෙ ආදරේට නෙමෙයි. එක් පාර්ශ්වයක් ගැන ඇතිවුන අනුකම්පාවට.
ආදරයට
පැවැත්මක් තිබ්බට අනුකම්පාව + ආදරයට පැවැත්මක් තියෙනවනද කියන එක අපි හිතන්න ඕන
කාරණයක්. ඒක නිකන් magnet එකක එක සමාන අග්‍ර දෙකක් එකට ළංකරනවා වගේ. එකතුවෙන්න වගේ ඇවිත්
විකර්ශනය වෙනවා.
මේ
scenario එක ඇතුළෙම උපකුලකයක් කියල හිතන්න පුළුවන් තව scenario එකක් මම මේ විදියට create කරනවා. හිතන්න, කෙනෙක් එයාගෙ හිත ගිය කෙල්ලට full try කරනවා. ඒත් කෙල්ලගෙ හිතේ ඒ තරම් කැමැත්තක් නැහැ
කියල හිතමු. ඒත් තමන්ගෙ ආදරය කියල හිතෙන මේ කෙල්ල එක්කම යාළු වෙන්න අර කොල්ලා නොකරන දෙයක් නැහැ.
කොල්ලා
මේ විදියට වාත වෙද්දි මේ ගැහැණු ළමයා කොයිතරම් අකමැති වුණත්, ආදරයක් හිතේ මේරුවෙ
නැති වුණත්, “අනේ එයා පව්නේ, මේ තරම් පස්සෙන් එද්දි මම අහක
බලන් මඟ අරින්නෙ කොහොමද?” කියල හිතල කැමැත්ත ප්‍රකාශ කරනවා.
එතෙන්දි
අපි ගැහැණු ළමයාගෙන් ඇහුවොත් ඇයි මේ කොල්ලා එක්ක යාළු වුණේ කියල උත්තරේ තමා “පස්සෙන් එද්දි පව් කියල හිතුනා” කියන එක.
මෙහෙම
පටන් ගැනෙන affair එකක් කල් ගතවෙද්දි දෙන්නාගේ හැඟීම් අවබෝධ කරගෙන
සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ආදරයක් හිතේ ජනිත නොවුණු පාර්ශ්වයට කාලයක් යද්දි “දැන් මේක ඇති”
වගේ දෙයක් හිතෙන්නත් පුළුවන්.
අනුකම්පාව
කියන්නෙ උදාර මානුෂීය සිතුවිල්ලක්. ඒකෙන් මිදෙනවා කියන්නෙ අපි ඉතාම කුහක සිත් ඇති
මිනිසුන් පිරිසක් බවට පත්වෙනවා කියන එක. කාටහරි කරදරයක් හිරිහැරයක් වුණාම තරාතිරම
බලන්නෙ නැතුව පිහිට වෙන්න අපි ඉදිරිපත් වෙන්නෙ ඉතාම උනන්දුවෙන්. ගංවතුරක් නායයාමක්
වුණාම supermarket වල රාක්ක හිස්වෙන, දැන් ආධාර ගෙනාවා ඇති කියල
මාධ්‍යයෙන් නිවේදන නිකුත් කරන රටක් ලෝකෙ වෙන කොහෙවත්ම නැතුව ඇති. ඒ තමා අපේ හිත්වල
මතුවුන අනුකම්පාව. අපේ රටේ මිනිස්සු හරි වෙනස් වුණේ අන්න ඒ නිසා.
ඒත්
මේ අනුකම්පාවයි ආදරයයි පටලවා ගත්තොත් අපිට මුහුන දෙන්න වෙන ප්රශ්නවල බරපතලකම
වැඩියි. ආදරය ඇතුළෙ අනුකම්පාව තියෙන්න ඕන. ඒත් අනුකම්පාව නිසා ආදරයක් ඇතිවීම
තාත්ත්වික නැහැ.
ඔබටත්
විවෘතයි මේ සංවාදය!!
ඔබේ
අදහස් පහළින් ලියන්න.
නැත්නම් මගේ facebook බිත්තියේ..(Chari’th Gunarathna).
inbox කරත් ප්‍රශ්නයක් නැහැ.
එහෙනම්
ගිහින් එන්නම්. ආයි හම්බෙමු.
Saturday, May 28, 2016
කවුරුත් නැතුව 3 - හැමදේම ලැබිලා ඇයි ඔයාව විතරක් නොලැබුණේ?
කවුරුත් නැතුව 3 - හැමදේම
ලැබිලා ඇයි ඔයාව විතරක් නොලැබුණේ?
“කවුරුත් නැතුව 2 - බැඳීම් වල life cycle එක”
කියවපු ගොඩක් දෙනෙක්ගෙන් එල්ල වුනේ බොහොම ආදරණීය විවේචන.
“ඕවා ලිව්වට කරන්න ලේසි නැහැ, ප්‍රායෝගික නැහැ”
“ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් කිව්වට අයිතිකරගැනීම
කියන එක හිත් වලින් ඈත් කරන්න අමාරුයි. කලාතුරකින් කෙනෙක්ට තමා එහෙම හිතෙන්න
පුළුවන්”
මේ
වගේ ගොඩක් දේවල්. මේ හැමදේටම ඉස්සරහට යද්දි උත්තර හම්බෙනවා කියල විතරක් මම
කියන්නම්. එහෙම කියල අද “කවුරුත් නැතුව” පටන් ගමු.
කලින්
අපි කතා වුණේ බැඳීම් ගැන අද මං කතා කරන්නෙ ලැබීම් ගැන. කවුරුත් නැතුව අපිට
තනිවෙන්න වෙන්නෙත්, කාත් එක්ක හරි සතුටින් ඉන්න ලැබෙන්නෙත් අපේ ලැබීම, නොලැබීම
නිසානෙ.
අපි
මෙහෙම පටන් ගමු. මේ අකුරු කියවන ඔබ ටිකක් බලන්න මේ වෙලාවෙ ඔයාගෙ වටේ තියෙන්නෙ
මොනාද කියලා. සමහරවිට ඔයා ළඟ lap එකක්
ඇති. නැත්නම් smartphone එකක්. නොතෙමී ඉන්න හිසට උඩින් සෙවණක් ඇති.මේ වගේ
එකී මෙකී නොකී දාහක් දේවල් ඇති.
නොලැබුණ
දේවල් ගැන බලන්න, හිතන්න කලින් අපි හිතමුද අපිට ලැබුණ වටිනාම දේ මොකද්ද කියලා.
හිතන්න අපිට ලැබුණ වටිනාම දේ තමා මිනිස් ජීවිතය. අපිත් මිනිස්සු හින්දා අපිට ඒකෙ
ලොකු වටිනාකමක් තේරෙන් නෑ. නමුත් මනුෂ්‍ය කියන්නෙ මනසින් උසස්, හැඟීම් දැනීම්
වටහාගන්න ලෝකයේ බිහිවුණු උසස්ම සත්ත්ව කොට්ඨාශයක්. මනුෂ්‍ය ජීවිතයක් ලැබුන නිසා
තමා අපිට ගොඩක් දේවල් විඳින්න විඳගන්න අවස්ථාව ලැබුණෙ.
“මනුෂ්‍යත්වය”
කියන fantasyමය සාධකයෙන් අඩු වැඩි විදියට පරිපූර්ණව නිර්මාණය
වුණු අපේ ජීවිත තම තමන්ගෙ අවශ්‍යතා අනුව බොහෝ දේ හඹා ගියා. ඔස්ලෝ කියන සමාජ විද්‍යාඥයා
අවශ්‍යතා පිරමීඩයක් මඟින් මේ සංසිද්ධීය අපූරුවට පැහැදිලි කලා. මේ පිරමීඩෙ පහළින්ම තියෙන්නෙ අපේ මූලික අවශ්‍යතා.ආහාර,
නිවාස,වාතය, නින්ද, උණුසුම වගේ දේවල්. මේ අවශ්‍යතා එකින් එක සපුරගෙන අපි පිරමිඩෙ
උඩටම යද්දි අපිට හම්බෙනවා ආරක්ෂාව, ආදරය, ජයග්රනය,පිළිගැනීම,respect එක වගේ අවශ්‍යතා. පිරමිඩෙ උඩම තියෙන්නෙ self-actualization කියල එකක්. ඒක තමා මිනිසුන්ගෙ අවශ්‍යතාවල peak එක. එතනින් එහාට අපිට හඔා යන්න දෙයක් නැහැ.
මස්ලෝගෙ
theory එක අනුව අපි ගොඩක් දෙනෙක් අයිති වෙන්නෙ මේ
පිරමිඩ් එකේ පහළ ස්තර වලට. අපේ ජීවිත ලැබීම් නොලැබීම් වලින් පිරිලා. ලැබීම් වලදි
සතුටු වුණ ගොඩක් අය නොලැබීම් වලදි සෑහෙන්න වැටෙනවා. අපි ජීවිතෙන් පෙරළා ප්‍රශ්න
කරන්නෙ හැමදේම ලැබිලා ඇයි එක දෙයක් විතරක් නොලැබුණේ කියලා.
අපි
හිතන පතන හැමදේම අපිට ඒ විදියටම ලැබෙනවා අඩුයි. කිරල මැනල පෙරිලා ලැබෙන ටිකෙන් තමා
ගේමක් ගහන්න වෙන්නෙ. ඒ නිසා අපි ජීවිතෙන් හැමදේම positive විදියට positive දේවල්ම
බලාපොරොත්තු වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙමේ.
එහෙනම්
කොහොමද අපි අපෙන් ඈත්වුණු දෙයක් දිහා බලාගෙන හිත හදාගන්නෙ?
මේ
වෙලාවල් වලදි අපි පොඩි ideological
monopoly එකක්
මවාගන්නවා අපෙන් ඈත්වුන දේ තමා ලෝකෙ මේ මොහොතේ තියන වැදගත්ම සහ අත්‍යාවශ්‍යම දේ
කියලා. ඒ mindset එක ඇතුළෙ ඉඳන් අපි ඒ ගැන අසීමිතව හිතනවා. දුක්
වෙනවා. අපි විසින්ම අපිට උරුම වුන බොහොමයක් දේවල් මඟහැරලා අහිමි වුන දේ ගැන කල්පනා
කරනවා.
එක්තරා
රාජ්‍යයක හිටපු ගොවියෙක් ඉතාම සතුටින් ජීවත් වුණා. මේක දැනගත්ත මේ රටේ රජතුමාට
තමන්ගෙ රටේ පුරවැසියෙක් තමන්ට වඩා සතුටින් ජීවත් වෙන එකට ඉරිසියා හිතුනා. රජතුමා
මහඇමති ඇතුළු පුරෝහිතයින්ට කිව්වා මේ මනුස්සයගෙ සතුට නැතිවෙන විදියෙ දෙයක් කරන්න
කියලා. ඇමතිවරු දවසක් රෑක මේ ගොවියගෙ වත්තට රන්කාසි 99 ක් ගිහින් දැම්මා. උදේ
නැගිටලා බලද්දි රන්කාසි තොගයක් මිදුලෙ තියනවා දැක්ක ගොවියා කාසි සේරම ගණන් කළා.
කාසි 99ක් තියනවා දැනගත්ත ගොවියා ආයි මුල ඉඳන් ගණන් කළා. ඔහු හිතුවා කිසි කෙනෙක්
කාසි 99 ක් දාලා යන්නෙ නෑ, අනිත් කාසිය ඔහුට මඟඇරිලා ඇති කියලා. ඔහු හිතුවා
කවුරුහරි මේ කාසිය හොරකම් කරන්න ඇති කියලා. වෙන හැම වැඩක්ම පැත්තකින් තියලා ඔහු
ජීවිත කාලෙම කළේ මේ කාසිය හොයන එක.ඒත් කොයිතරම් ගණන් කළත් සෙව්වත් ඔහුට ඒ කාසිය
හොයාගන්න පුළුවන් වුණේ නැහැ. එතනින් එහාට ජීවිතේ එක තත්පරයක් වත් මේ ගොවියා
සතුටින් ජීවත් වුණේ නැහැ.
හිතන්න
ඔබත් මේ 99 කණ්ඩායමේ සාමාජිකයෙක්ද? දැන් ඔබ මාත් එක්ක තර්ක කරාවි රන් කාසියක්
අහිමි වීමයි, සංසාරගත බැඳීමක දෙදරා යාමයි සම කරන්න බැහැ කියලා. ඔව් ඒත් පොදු සංසිද්ධීය
අනුව මේ හැමදෙයක්ම අහිමිවීම්. හැඟීමට වඩා බුද්ධීයට ඉඩ දෙන්නෙ කොහොමද කියන එක අපි
තවත් දවසක කතා කරමු.
ලෝකෙ
හැමදේකම balance එකක් තියෙන්න ඕන. හැමදේම ඔයා හිතන විදියටම වෙලා
ආස කරන හැමදේම ලැබුණොත් එතෙන්දි ඒ balance එක නැතිවෙලා. සමහරවිට ඔයාට ඒ දේවල් ලැබෙන්න කල්
යනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලැබෙන්න ඕන නැති දෙයක් වෙන්නත් පුළුවන්.
හොයලා බලන්න හැමදේම හිතන විදියටම වුන කෙනෙක් මේ
ලෝකෙ කොහේහරි ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් ඒක ගිනස් පොතෙත් උඩින්ම ලියවෙන්න ඕන
දෙයක්.
කරන්න
තියෙන්නෙ ලැබුන ගොඩක් දේවල් ගැන සතුටු වෙන එක. ජීවිතය ඔයාට අඬන්න හේතු සියයක්
පෙන්වද්දි ඔයා ලෝකෙට පෙන්වන්න හිනාවෙන්න හේතු දාහක් තියෙන විත්තිය. හැම කඩාවැටීමක්
ළඟදිම ඔළුව කෙළින් තියන් හිනාවෙලා හැමදේම භාරගන්න ready වෙලා ඉන්න.
අද
කවුරුත් නැතුව ඉවර කරන්නෙ මහාචාර්ය ගංගානාත් දිසානායක ඔහුගේ පැණි වළලු පොතේ ‘අම්මා’
කියන පරිච්ඡේදය ඇතුළෙ සටහන් කරන වචන කිහිපයකින්. ලැබුන නොලැබුන දේවල් ජීවිතේ අපි
භාරගන්න විදිය ගැන හිත කීරි ගස්සන පාඩමක් මේ අකුරු අපිට කියල දෙනවා.
“මේක කියවන ඔබ නොලැබුන හුඟක් දේවල් ගැන දුක් මහන්සි
වෙනවා ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතුව ඇති. මට නම් ජීවිතේ හුඟක් දේවල් ලැබුනා.
රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාළිගාවටත් වඩා ලොකු ලස්සන මාළිගාවක් වගේ ගේක ජීවත් වෙන්න
ලැබුනා. ඒත් මට එකක් ලැබුණ් නෑ. ඒක ආයෙ ලබන්නත් බැහැ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබලා
ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහුවොත් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියලා? ඔබ ලක්ෂපති.
මම හිඟන්නෙක්...”
Monday, May 23, 2016
කවුරුත් නැතුව 2 - බැඳීමක life cycle එක තේරුම් ගමු
කවුරුත් නැතුව 2 - බැඳීමක
life cycle එක තේරුම් ගමු
බැඳීම්
වලට අපි ජීවිතේ ලබාදෙන්නෙ ලොකු ඉඩක්. සමහරු බැඳීම් වලට නොසෑහෙන්න වහල් වෙලා
ඉන්නවා. බොහොම අතළොස්සක් තමයි උන්නත් දාහයි මළත් දාහයි කියල පැත්තකට වෙලා ඉන්නෙ.
එහෙම ඉන්න අයගෙත් හිත් වල කොනක හරි බැඳීමක සේයාවක් ගෑවිලා නැතුව ම නෙමෙයි.
කොහොම
වුණත් සෝවාන් වගේ මාර්ගඵලයක් ලැබුව කෙනෙක් ඇරෙන්න පෘථග්ජන පුද්ගලයෙක්ට බැඳීම්
වලින් මිදෙන්න අමාරුයි.
එහෙම
නම් බැඳීම් අතහැරලා ඇත්තටම අපිට ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන් නම් එහෙම ඉන්නෙ
කොහොමද?
බැඳීමක්
ඇතිවෙන්නෙ යම් දෙයකට හෝ කෙනෙක්ට අපි අසීමිතව ළංවෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කෙනෙක්
අපිට ළං කරගන්න ඕන.
ඔය
කියන මූලික ක්‍රියාවලිය තමයි බැඳීමක් සම්බන්ධතාවයක් විදියට අපේ හිත් වල නිර්මාණය
වෙන්නෙ. ඒ විදියට නිර්මාණය වෙන relationship එකක්
නොයෙක් හැලහැප්පීම් වලට ලක් වෙනවා යම්කිසි තත්ත්වෙකට එනවා. ඒත් මේ සම්බන්ධතාව
මොනයම් හෝ හේතුවක් උඩ හරි දෙදරලා ගිහිල්ලා දෙන්නට වෙන් වෙන්න සිද්ද වුණාම තමයි
කෙනෙක් තනිවෙන්නෙ.
සමහරවිට
සම්බන්ධතාවක් බිඳ වැටීමක් නොවුණත් ජීවිතයක් සදහටම අපෙන් ඈත්වීමක් වුණත් දරාගන්න
අපිට බොහොම අමාරුයි. බැඳීමක්
ඇතුළෙ තියෙන්නෙ ආදරය ප්‍රේමය රැකවරණය සෙනෙහස වගේ දේවල්. මේ වගේ මානුෂීය හැඟීම් අපේ
හිත් වලට තදින් දැනෙද්දි ඒ දේවල් ගැන අපිට ඇතිවෙනවා ලෝබකමක්, පුංචි තණ්හාවක්. හැමදාම ඒ විඳින ආදරය රැකවරණය අපි ළඟින් තියාගන්න කල්පනා
කරනවා.ආදරයක් රැකවරණයක් ළඟින් තියාගන්න නම් ඒ සිතුවිලි අපේ හිත් වල create කරන්න හුරු පුරුදු කළ අයව අපෙන් ඈත්වෙන්න නොදී
තියාගන්න වෙනවා.
බැඳීමක
දුක පටන් ගන්නෙ මෙතනින්. අපි ආදරය කියල හිතන්නෙ අයිති කරගැනීමක් ගැන. ඒත් ආදරය
කියන්නෙ අයිති කරගැනීම නෙමෙයි පරිත්‍යාගය කියල දැනට නිකන් ඔළුව idea එකක් තියාගන්න. ඉස්සරහ දවසකදි ආයිත් අපි ඒ ගැන
කතා කරමු.
අපි
ආදරය කරන කෙනාගෙ වෙන පුංචි වෙනසෙ ඉඳන් අපිට සෑහෙන්න දුක හිතෙන්න ගන්නවා. අපිට
හිතෙනවා එයා ඈත් වෙනවා කියලා. ළං කරගන්න පුළුවන් හැමදේම කරනවා.ඒ හැමදේම කරලත් එයා
ළං වුණේ නැත්තම් එයා සදහටම ඔයාව දාලා ගියානම් හිතේ කැකෑරෙන මහා දුකක් එක්කල ඔයා
තනිවෙනවා.
අපි
කොහොමද මේකෙන් ගොඩ එන්නෙ?
හිතන්න මේ
ලෝකෙ ඇත්තටම ඔයාට අයිති මොනවද?
අඩුම ගානෙ
අපිට අපිවත් අයිති නෑ නේද? අපිට වෙලාව ආවම මොන දීපංකරේ කවුරු කොහොම වෙලා හිටියත්
පිටවෙලා යන්න වෙනවා. ඊළඟ මොහොතෙ මොනවා සිද්ද වෙයිද කියල අපි දන්නෙ නැහැ. ඇත්තටම
කියනවනම් අපේ ජීවිතේ ගැන අපිට 100%
control එකක් නැහැ.
අපිට
අපේ ජීවිතෙත් අයිතියක් නැති වෙද්දි අපි කොහොමද අපේ නොවන දෙයක් සදහටම අයිති
කරගන්නෙ? මං දන්නවා මෙතන ටිකක් විවාදාත්මකයි. ඔබ සමහරවිට කියයි මං එයාව ආත්ම
ගණනාවක් පෙරුම් පුරාගෙන ආව කියලා. හරි! ඒක ඇත්ත. ඒත් ටිකක් හිතන්න ඒ හැමදේම
තාවකාලිකයි නේද?
ආදරය
කරන්න ඕන. ප්‍රේමය, ජීවිතය.... මේවා විඳින්න ඕන. ඒත් අපි හිතේ තියාගන්න වෙනවා දවසක
හැමදේම අපෙන් මඟහැරෙන බව. ඒ නිසා ඔයා මොනවහරි දෙයක් ආදරෙන් භාරගන්නවා වගේම ඒ දේවල්
ඈත්වෙද්දි මනසෙන් නොවැටී ඉන්නත් පුළුවන් කමක්, පොඩි ගටක් ඇතිකරගන්න වෙනවා.
බැඳීම්
ඇතිකරගන්නවා වගේම නැතිවෙද්දි ලෝක යථාර්ථය මේකයි කියලා හිතල විශ්වාසයෙන්, ධෛර්යයෙන්
ඒ දේවල් භාරගන්න පුළුවන් නම් මං හිතන්නෙ ‘කවුරුත්
නැතුව’ ඔයා තනිවෙන් නෑ. කවුරු ආවත් ගියත් අන්තිමට තමන්ට
ඉතුරු වෙන්නෙ තමන් විතරයි කියල හැමතිස්සෙම මොළයේ පැත්තකට වෙන්න තියාගන්න. එහෙම
තියාගෙන හැඟීම් එක්ක deal
කරන්න.
කවදාවත් වැරදෙන එකක් නෑ.
ගිහින්
එන්නම්. ආයි හම්බෙමු....!!
Sunday, May 22, 2016
ඒක හීනයක් - ඒ හීනෙට මම ආදරෙයි
සිහිනයක් අසළ තුන්හිත
නවතිමින් දුටුව හීනයේ
කුමරියයි ඔයා
තනිකමින් ගෙවුණ තත්පර
පෙම් සිතුම් මවා හැඩකළ
සිත් දෙකක් එක්ව බැඳෙනා
දිනය පැමිණුනා
සිහිනයන් පුරා
සිතුවම් ඇන්ඳේ
ඔය රුව සැමදා
මතකයන් අරා
රැව් පිළි නැඟුණේ
නුඹවයි සැමදා
මියෙන තෙක් දිවියෙ කෙළවර
නුඹෙ ළඟින් හිඳිමි සැමවිට
වැළඳගමි හදට ළංකර
රැකගනිමි සදා
පිසදමා කඳුළු නෙතුඅග
සිනාසෙමි සුසුම් මඟහැර
ඇවිදයමු පැතුම් පොදි බැඳ
සෙනෙහසින් සදා
බදුලු අහසට....
බදුලු අහසම අඬන් ඇතිකඳුගැටෙහි ගුළිවෙච්ච
වළා රොද නැති පාලුවට,
එක රෑනෙ ඉගිලිච්ච
සියොත් කැල නැති
සාංකාවට,
විසිරුණේ නැතිවාට
දුන්හිඳේ පෙණ කැටිති
සහස් සිත් අසතුටින්
අසිරි සිරි මදිවාට...
සින්නක්කරව ඔප්පු ලියපු
සමනළ්ලු අන්ධයිලු
හිත් පතුලෙ කැකෑරෙන
වේදනා නොදැනෙන්න,
හිස් වෙච්ච ගොඩක් තැන්
පුරවන්න හැකිවේවි
හුදෙකලා නැති හිතට
වාරු වෙන කවියකට.......
කවුරුත් නැතුව 1 - තනියෙන් ඉන්න ඇත්තටම පුලුවන්ද?
කවුරුත් නැතුව 1 - තනියෙන් ඉන්න ඇත්තටම පුලුවන්ද?
# කවුරුත් නැතුව කියල ලොකුවට ලියන්න පටන් ගත්තට කාටහරි කවුරුත්ම නැතුව ඉන්න බැහැ.
@ නැහැ.පුලුවන්... ඇයි බැරි?
# බෑ... කොහේදි
හරි අසරණ වෙනවා.තනි වෙනවා.
@ එහෙම තනියක්
නැහැ. හිත හයිය කරගන්න තියෙන්නෙ.
# කියන්න
හැමෝටම පුලුවන්. කරන්න ගියාමනේ රඟේ දැනෙන්නේ.
මේක දෙන්නෙක්
අතර ඇතිවුණ දෙබසක්. ඔව් ඒ දෙන්නා තමයි මමයි, මමයි.මම කියපුවට උත්තර දුන්නෙත් මම
මයි.
මං දන්නවා දැන්
නිකං කොයිල් වගේ ඇති තමයි මේ ටික කියවද්දි. කොහොම උනත් කවුරුත් නැතුව තනියෙන් ඉන්න
පුලුවන්ද කියල හිතන එකත් පොඩි challenge 1,පොඩි දෙගිඩියාවක්.
ඒත් ඒ
දෙගිඩියාව පැත්තකින් තියලා challenge 1 කරට අරන් අපි කතාකරන්න යන්නෙ කවුරුත් නැතුව ඉන්න එක ගැන.
ඇයි ලියන්න වෙන
දෙයක් ඇත්තෙම නැද්ද?
තියනවා. ඒත්
තනිවුණ මිනිස්සු කොයි තරම් නම් විඳවනවද? විඳවන එකෙන් නතර වෙන් නෑ.ජීවිතත් නැති කරගන්නවා. ජීවත්
වෙන හැම තත්පරේකම හිත් වලින් පන අදිනවා. ඒත්..., තනිකම කියන්නේ ඒ තරම් විඳවන්න ඕනි
දෙයක් ද? සමහරවිට ඒකෙත් පොඩි kick එකක්, ජීවිතේට උකහා ගන්න දෙයක් තියෙන්න පුලුවන්. මං හදන්නේ අන්න ඒ දේවල්
හොයාගෙන යන්න.
ඇයි මිනිස්සු
තනි වෙන්නේ? සරලම හේතුව ආදරය කරන කෙනා දාලා යනවා. යාලුවෙක් ඈත් වෙනවා. ළඟම කෙනෙක් අපි හිතමු ජීවිතයෙන් සමු ගන්නවා. මේ වගේ තව තව හේතු තියෙන්න
පුලුවන්.
කවුරු කෙහොම
කිව්වත් ඒ වගේ තනිකමක්,වියෝවක්,වෙන්වීමක් එකපාර දරාගන්න, නාඩි වැඩකරන,හුස්ම
වැටෙන,ධමනි-ශිරා හරහා ලේ
පොම්ම වෙන පංචස්කන්ධයකට නම්
පුලුවන් කමක් නැහැ.
ඒත් අපට මුහුණ
දෙන්න වෙන පරාජයක්, කඩාවැටීමක් එතනින් එහාට ජීවිතේ ගෙවන මිනිත්තු තත්පරේකටම බලපාන
මට්ටමකට up කරගන්න ඕනද? සමහරවිට ඔබ කියයි ඒ දේවල් හිතලා කරගන්නවා
නෙමෙයි,ඉබේටම හිත්වලට වද දෙනවා කියල.
ඔව් අපි ඒ
දේවල්වලට ආදරේ කරපු තරමටම ඒ දේවල් අහිමි වේදනාව විඳවන්න වෙනවා.
කතාව ඇත්ත.ඒත්
මං කලින් කිව්වා වගේ ජීවිතේම අඩන්න වැළපෙන්න අපිට බැහැ. ගොඩඒමක් තියෙන්න ඕන.
ගොඩඒමක් විතරක් නෙමෙයි, ගොඩ ඇවිත් පය ගහලා හිටගෙන ඉන්න හැකියාවකුත් තියෙන්න ඕන.
විඳවන්න දේවල්
තියෙන්න ඕන.නැත්නම් ජීවිතේ කිසිම රහක් නෑ. ඒ වගේම කිසි කෙනෙක් සදාකාලිකවම අඬන්න ඕනත් නෑ.
මේ අකුරු වෙන් කරන්නේ තනිකමෙන් මිරිකිච්ච, රිදුම් දෙන හිත්වලට.
ඒන්න අපි අලුත්
අඩියක් ඉස්සරහට තියමු. පොඩි liberal concept ටිකක් බස්සලා කරලා ඔය කීරි ගැහෙන සිතුවිලිවලට ඔක්සිජන්
ටිකක් ඇතුල් තරමු. ඉස්සො වඩේ එකක රහ රසාංකුර හිරිවැටෙන තරමට දැනෙන්න ගන්නේ එතකොට...
අදට
ඉවරයි...දිගටම ඉන්න...
Subscribe to:
Posts (Atom)










